දිගු කාලීන විදුලි ජනනය ක්‍රියාත්මක නොකළොත් විදුලිය කැපීමක්


(දයාසීලි ලියනගේ)   

දැනට ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති දීර්ඝ කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන බවට මහජන උපයෝගීතා කොමිසම ලිඛිත දැනුම්දීමක් නොකළහොත් අනිද්දායින් (12) පසු පැය දෙකක කාලයක්වත් විදුලිය කපා හැරීමට සිදු වෙනු ඇතැයි වාර්තා වේ.   

එයට හේතුව වී ඇත්තේ බලපත්‍ර රහිත සියලු බලාගාර ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉජිනේරුවන් තීරණය කර තිබීමය.   


ඒ තීරණයට අනුව පරිසර බලපත්‍රය මේ වසරට ලබාදී ඇති නොරොච්චෝල විදුලි බලාගාරය හා බලපත්‍ර නැතිව ක්‍රියාත්මක වෙන ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරය හා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වරායේ බත්තලක ක්‍රියාත්මක වෙන විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන බව විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති අතුල වන්නිආරච්චි මහතා කීය.  


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පසුගිය 7 වැනිදා පැවැති සාකච්ඡාවකදී ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද සැලැස්ම ක්‍රියාත්මක කර, මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කළ ජනන සැලැස්ම ඉවත් කරන ලෙසට උපදෙස් දී ඇත.  


ඒ අනුව විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කරන ලද විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන බවට මහජන උපයෝගීතා කොමිසමෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇති අතර, එසේ නොවුනහොත් අනිද්දා සිට බලපත්‍ර නැති බලාගාර ක්‍රියාත්මක කිරීම අත්හිටුවන බවද අතුල වන්නිආරච්චි මහතා කීය.