දිගටම පාඩුයි​: සේවකයන්ට වන්දි ගෙවා ශ්‍රී ලංකන් වසා දමන්න


(අජන්ත කුමාර අගලකඩ)  

දිගින් දිගටම පාඩු ලබමින්, රටට මහා බරක් වී ඇති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7000ක් පමණ වන සේවකයින්ට වන්දි ගෙවා ගුවන් සමාගම වසා දැමීම සුදුසු බව මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.  

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉකුත් මාර්තු 31 වැනිදා වනවිට රුපියල් කෝටි 18,400ක පමණද මිහින් ලංකා සමාගම රුපියල් කෝටි 1900ක පමණ ද පාඩුවක් ලබා ඇතැයි පවසා ඇති ඇමැති රණවක මහතා මෙම සමාගම් දෙකේම පාඩුව රුපියල් කෝටි 20,000 ඉක්මවා ඇතැයි පෙන්වා දී තිබේ. තෙල් මිල ඉහළ යෑම ඇතුළු කාරණා හමුවේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වසරේ රුපියල් කෝටි 3,500ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.  


මේ රටේ සෑම පුද්ගලයකුම රුපියල් 10,000ක පමණ ණයකාරයකු කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න කඩිනමින් තීරණය කළ යුතුව ඇතැයි ද ඇමැති රණවක මහතා පවසා ඇත.