දණ්ඩ නීති සංග්‍රහයෙනුත් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත හැකියි


අලුත් පනත් ඕනෑ නෑ

 

දේශපාලන කරළියේ කතාබහට ලක්වෙමින් තිබූ ප්‍රතිත්‍රස්ත පනත මාතෘකාව නැවත මතුවී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ මෙය බලාත්මකව තිබුණේ නම් පසුගියදා සිදුවූ ත්‍රස්ත ක්‍රියා පිළිබඳ විමර්ශන පහසුවන බවයි. ඊට ප්‍රතිවිරුද්ධ මතයන් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ සාකච්ඡාවකට එක්වන්නේ බටහිර ඉන්දීය කොදෙව්හි ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවාය.


ප්‍රතිත්‍රස්ත පනත ආපහු කරළියට ඇවිත්. අගමැතිතුමා කියන්නේ මේක නැතුව ත්‍රස්තවාදය නැති කරන්න අමාරුයි වගේ කතාවක්.


මේක පනතක් නෙවෙයි තාම. මේක තාම ප්‍රතිත්‍රස්ත කෙටුම්පතක්. මෙය පාවිච්චි කරන අරමුණ දෙස අපි හොඳින් බලන්න ඕන. ප්‍රතිත්‍රස්ත පනත ගැන පැහැදිලි කරන්න කලින් මේ අගමැතිතුමා කියන දේට උත්තරයක් දීලා ඉන්නම් ඊට පස්සෙ මම විස්තර කරන්නම් පනත පිළිබඳව.


අගමැතිතුමා කියනවා නම් ප්‍රතිත්‍රස්ත පනත නැති නිසා තමයි මේ සියලුම ත්‍රස්තවාදී ක්‍රියාවන් නවත්තන්න බැරි කියලා. නීතිඥ​ෙයක් විදියට අපට ඒක පිළිගන්න බෑ. මම ඒක හේතු සහිතව පැහැදිලි කරන්නම්.


දැන් මේ සිද්ධිය දඩමීමා කරගෙන අගමැතිතුමාට ආණ්ඩුවට විශාල උවමනාවක් තියෙනවා ප්‍රතිත්‍රස්ත පනත ගේන්න. මං දන්නේ නෑ ජනාධිපතිතුමාටත් මේ උවමනා තියෙනවද කියා. අගමැතිතුමා මේක ලස්සනට පළිහක් ලෙස පාවිච්චි කළා. ස්කයි ඉන්ටර්විව් එකේ සහ තවත් ඉන්ටර්විව් කීපයකම අපිට තියෙනව 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. ඉතා පැහැදිලිව ඒකෙ තියෙනවා ලංකාවේ හෝ වෙනත් රටක ත්‍රස්ත පුහුණුව ලබල හෝ ත්‍රස්තවාදී වැඩකටයුතුවලට සම්බන්ධ වෙනවා නම් හෝ ඒ අය ලංකාවේදී අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා.


එතකොට අගමැතිතුමා මේ නීතිය දැනගෙන හිටියෙ නැද්ද? මේකෙ 2/1/H වගන්තිය යටතේ ඉතාම පැහැදිලියි. ප්‍රචණ්ඩකාරී ලෙස ආගමික වර්ගවාදී ලෙස ජාතිවාදී ලෙස ත්‍රස්ත ක්‍රියා සිදු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ වගේ අය මීට කලින් අත්අඩංගුවට ගත්තනේ.


මාවනැල්ලේ සිද්ධවුණු නොසන්සුන්තාව වෙලාවෙ ඒකට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්තා. ඒත් ඒ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළේ නැතුව එළියට දැම්මා. ඒ එක්කෙනෙකුත් දැන් මේ බෝම්බ ප්‍රහාරවලට මුල්වෙලා තියෙනවා.


වනාතවිල්ලුවේ බෝම්බ ඇල්ලුව. ඒ වෙලාවෙත් ඊට සම්බන්ධ උදවිය නිදහස් කරල ඇරියා. ආරක්ෂක ඇමැතිවරයාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රෙගුලාසි දාන්න පුළුවන්. ඒත් රෙගුලාසි දැම්මේ නෑ. ආරක්ෂක ඇමැතිට මේ පියවර ගන්න පුළුවන් ඕන හැටියට. ඒ තරම් ප්‍රබල පනතක් මෙතන තියෙනවා.


2007 එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත ලංකාවේ සම්මත කරල තියෙනවා. ඒ යටතේත් ආගමික වර්ගවාදී ක්‍රියා කරන අය අත්අඩංගුවට ගන්න පුළුවන්.
1999 ලංකාවේ සම්මත කරපු පනතක් තියෙනව බෝම්බ හැදීම හා බෝම්බ පරිහරණය කිරීම සම්මත බව. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ 138 වගන්තිය යටතේ වෙනත් රටක ත්‍රස්ත පුහුණුව ලබල ආපු අයව අත්අඩංගුවට අරගන්න පුළුවන්. ඉතිං මෙහෙම නීති තියෙද්දිත් රටේ අගමැතිතුමා වැරදි අර්ථ නිරූපනයන් ලෝකෙට දෙනව නම් නීතිය පිළිබඳ විද්වතුන් හැටියට ඒ ගැන පැහැදිලි කිරීම අපේ වගකීමක්.


එතකොට අගමැතිතුමාගේ යටි අරමුණක් තියෙනවා කියල ද ඔබ කියන්නේ මේ සම්බන්ධව?


දැන් මේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නීති තියෙද්දිත් ඒවා යට කරගෙන තමන්ගෙ අභිප්‍රාය ඉෂ්ඨ කර ගන්න ප්‍රතිත්‍රස්ත පනත ගේන බවත් තමයි අපට පේන්නේ. අගමැතිතුමා කියන්නේ ත්‍රස්තවාදය කියන එක හරියට නිර්වචනය කළේ නෑ කියලා. ඒක වැරදියි. නිර්වචනය කරල තියෙනවා. මෙහෙම තියෙද්දිත් අගමැතිතුමා මේවා නොදන්නවා වගේ කතා කිරීම අපිට නම් ප්‍රශ්නයක්.


ප්‍රතිත්‍රස්ත කෙටුම්පත කියන එකේ නියම අර්ථය මොකක්ද කියල අපි ටිකක් විමසල බලමු.


ත්‍රස්තවාදීන්ව මර්දනය කිරීමයි මේකෙ සැබෑ අරමුණ. ත්‍රස්තවාදය මුවාවෙන් රට තුළ පැන නගින ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල මර්දනය කිරීමත් මේක යට තියෙනවා. මේ අය ත්‍රස්ත ක්‍රියා කියන එක බොහොම අඩුවෙන් නිරූපනය කරල ආණ්ඩුවට එරෙහිව එන විරෝධයක් මැඩලන්න මේක පාවිච්චි කරන්නයි සූදානම.


මේ ප්‍රතිත්‍රස්ත කෙටුම්පත සම්පූර්ණයෙන් පටහැනියි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාපු තොරතුරු දැන ගැනීමේ පනතට. ​ෙම් ප්‍රතිත්‍රස්ත පනතෙන් තොරතුරු දැන ගැනීමේ අයිතියත් යටයනවා. අගමැතිතුමා දිගින් දිගටම කියන්නේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව පිටරට පුහුණුව ලබපු අය අත්අඩංගුවට ගන්න නම් ප්‍රතිත්‍රස්ත පනත නැතුව බෑ කියලා. ජනතාව දැනගත යුතුයි මේ රැවටීම ත්‍රස්තවාදය වැළැක්වීමට අපිට ප්‍රබල පනතක් තියෙනවා.


මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. විජය කුමාරතුංග ඇතුළු පිරිස නැක්සලයිට් කියල ඉන්දියාවේ ගිහින් පුහුණුව ලබල ආවා. ඒ අය ජේ. ආර්. ජයවර්ධන විසින් අත්අඩංගුවට ගත්තේ නැද්ද? ඒ පන​ෙත තියෙනවා. අගමැතිතුමාට කරන්න තියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව ටිකක් ශක්තිමත් කරන එක මිසක් ප්‍රතිත්‍රස්ත පනතක් ගේන එක නෙවෙයි.


ඇත්තම කියනවනම් මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවේ ලංකාවේ උවමනාවට නොවෙයි. මේ පිටිපස්සෙ ඉන්නවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය. මේක අපිට එරෙහිව ගේන යෝජනාවක් තියෙනව 2015 ඉඳන් ඔයාලා මොනවද කරන්නේ කිය කියා. ඒකට හේතුව ප්‍රබල කොටි ත්‍රස්තවාදීන් මේ වෙනකොට අත්අඩංගුවේ සිටීම. මේ අය එළියට ගන්න බැරිව ඉන්නේ. මේ අය එළියට ගන්න පුළුවන් මේ ප්‍රතිත්‍රස්ත පනත හරහා.


ප්‍රතිත්‍රස්ත පනතේ යටි අරමුණු රැසක් තියෙන බව ඉතා පැහැදිලියි. ඉදිරියේදී එන ආණ්ඩු විරෝධය වළක්වා ගන්න මේ හරහා පුළුවන් කියලා ආණ්ඩුව කල්පනා කරනවා.
අගමැතිතුමාගේ මේ ප්‍රකාශ හරහා ලංකාව නීති නැති රටක් කියලා ලෝකයා හිතනවා. මේ කතාව අහලා විදේශ රටවල් ඒ අයගේ රටවැසියන්ට කියනව ලංකාවට නම් යන්න එපා එහේ නීතියක් නෑ ත්‍රස්තවාදය වළක්වන්න කියලා. ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ත්‍රස්තවාදයේ තෝනැන්නක් බවට පත් කරන්නද අගමැතිතුමා මේ ප්‍රකාශ කරන්නේ?
කෝ මේ රටේ නීතිපති?


නීතිපති මොනවද කරන්නේ?


නීතිපතිට මේ ගැන ප්‍රකාශයක් කරන්න බැරිද?


ජනතාවත් අන්ද මන්ද වෙච්ච මොහොතක් මේක. මේ වෙලාව පාවිච්චි කරල ටක්ගාලා මේ පනත සම්මත කර ගන්න තමයි අගමැතිතුමා මාන බලන්නේ. ප්‍රතිත්‍රස්ත පනත තුළ තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ තියෙන ගොඩක් කරුණු හැබැයි ඒවා සැර බාල කරල තියෙන්නේ. ප්‍රතිත්‍රස්ත පනත යටතේ පොලිසියට විශාල බලයක් පැවරෙනවා. පොලිස් රාජ්‍යයක් කරා යන්න වුණත් පුළුවන්. පොලිස් බලතල හමුදාවට දුන්නොත් හමුදා රාජ්‍යයක් කරා යන්න පුළුවන්. මේ හරහා භාශනයේ ප්‍රකාශනයේ නිදහසට විශාල ගැටලු එන්න පුළුවන්.


මේ වගේ දෙයක් ගෙනල්ල අගමැතිතුමාට ආණ්ඩුව රැක ගන්න පුළුවන්ද?


ඔහුට ක්‍රම තුනක් අවශ්‍ය වෙනවා ආණ්ඩුව රැක ගන්න. එකක් තමයි ජිනිවාවලින් එන සහාය. 2014 මමත් හිටියා. ජිනීවා මානව හිමිකම් කවුන්සල් සැසිවාරේ. ඒ වෙලාවෙ ගෙනාපු එක දෙයක් තමයි ‘රෙජීම් චේන්ච්’ කියන එක. මහින්ද රාජපක්ෂ එළවීම. අනිත් කාරණය තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ අපට ආධාර දෙන රටවල්වල ඉල්ලීම් ඉටු කිරීම.


ඒ අය කියන්නේ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන කියලා. ඒ හරහා අත්අඩංගුවට ගත් දරුණු එල්ටීටීඊ සැකකරුවන් මුදා හරින්න ඕන කියලා. යුද අපරාධ සඳහා යුද අධිකරණයක් මේ හරහා ගේන්න ඕන කියලා. ජිනීවා රැක ගැනීමට අගමැතිතුමාට නොකර බැරි දේවල් තියෙනවා.


අගමැතිතුමා ගේන්න හදන මේ ප්‍රතිපාදන පනතට ආණ්ඩුවේම සමහරු විරුද්ධයි. සිවිල් සමාජයේ බොහෝ දෙනා විරුද්ධයි. ආගමික නායකයින් විරුද්ධයි. කාදිනල්තුමා මේ ගැන පැහැදිලිවම කිව්වා කීප වතාවක් දැන් බටහිර බලවේග රනිල් වික්‍රමසිංහට කෑ ගහනව මේක ගේන්න කියලා. ඔවුන් අගමැතිට කියනවා මෙන්න දැන් තමයි මේක ගේන්න තියෙන හොඳම අවස්ථාව කියලා. ඒ නිසා තමයි දෙස් විදෙස් මාධ්‍ය සාකච්ඡාවලදී අගමැති මේ ගැනම පුන පුනා කියන්නේ.


මට හිතාගන්න බෑ ඔහු නීතිඥයෙක් වෙලත් මේ කතා කරන ආකාරය. ඔහු ඉගෙන ගත්තු විශ්වවිද්‍යලෙම තමයි මමත් නීතිය ඉගෙන ගත්තේ.


මේක සම්මත කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද?


මේ අවස්ථාවේ මේක සම්මත කර ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී 113ක් අවශ්‍යයි. මේක සම්මත කර ගන්න තුනෙන් දෙකේ බලය අවශ්‍ය වෙන්නෙ නෑ. මේක සම්මත කර ගැනීමේදී ද්‍රවිඩ ජාතික සංවිධානය සහය දේවි. ඒත් ආණ්ඩුවේ ඉන්න තවත් කණ්ඩායම් මේකට විරුද්ධව කතා කරනවා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකක් කරාවිද කියන්න දන්නේ නෑ. 113ට ආසන්න තැනක මෙතනදී රනිල් වික්‍රමසිංහ ඉන්නවා. හැබැයි සිවිල් සංවිධාන ඇතුළු සමාජ බලවේගවල විරෝධයන් මතුවෙමින් තියෙනවා.


ඇයි මේ ගැන ගොඩක් නීති විශාරදයෝ සද්ද වහල ඉන්නේ?


නීති විශාරදයෝ මේ ගැන පුළුල් අධ්‍යයනයක් කරනව නම් මේ සම්බන්ධව ජාත්‍යන්තරයේ යන තලයන් එක්ක විමසා බලන්න ඕන. එහෙම බලනකොට යම් සාධාරණය පැහැදිලි කර ගැනීමකට එන්න පුළුවන්. අපේ නීති විශාරදයින්ටත් දැන් යම්කිසි චකිතයක් ඇතිවෙලාද මන්ද? මේ ප්‍රතිත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ හැකියාවක් තියෙනවද කියලා.


මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන කීප දෙනෙක් නැතුව නෙවෙයි. ඒත් මම නම් පැහැදිලිවම කියන්නේ මේ ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ ත්‍රස්තවාදයට තවත් බුරුලක් දීමක් කියලා. නීතිඥයන්ට පවා මේකෙ සංකීර්ණතාව තේරුම් ගැනීමේ නොහැකියාවක ඉන්නව කියලත් හිතෙනවා.


මේකට කෙළින්ම විරෝධය පළ කරන මහින්ද රාජපක්ෂලා ඇතුළු විපක්ෂයේ අයගෙ තියෙන්නේ රට ගැන සැබෑ ආදරයක්ද?  එහෙමත් නැත්නම් ඔවුන්ගේ දේශපාලන වුවමනාවක්ද?


මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මතයවෙලා තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තියෙන නිසා මේ ප්‍රතිත්‍රස්ත පනත ගේන්න එපා කියන එක. ඔහු දකිනවා ඇති මේ හරහා විපක්ෂයේ ඉන්න ක්‍රියාකාරීන් දිගින් දිගට මර්දනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒක ඔහු දේශපාලන දෘෂ්ටි කෝනයකින් දකිනව ඇත්තේ.


විපක්ෂයත් මේ වගේ කාරණාවලදී දේශපාලන පැතිකඩකින් බලන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඔවුන් මේ ගැන ඊට වඩා අැකඩමිකළ අධ්‍යයනයක් කළා නම් බලා ගන්න පුළුවන් මේකෙ සංකීර්ණභාවය. ඒත් තාමත් විපක්ෂය පවා හරිහැටි මේක අධ්‍යයනය කරපු බවක් නම් අපිට පේන්​ෙන නෑ.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි