දකුණේ ක්‍රීඩා ඇමැතිධුරය මනෝජ් සිරිසේනට


(අජන්ත කුමාර අගලකඩ)  
දකුණු පළාත් සභාවේ දැනට පුරප්පාඩුවී පවතින ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිධුරය එහි සභානායක මනෝජ් සිරිසේන මහතාට ලබාදීමට තීරණය වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.   

ඒ අනුව මනෝජ් සිරිසේන මහතා ලබන සතියේ නව අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ. 


දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරය හිටපු ඇමැති පියසේන ගමගේ මහතාගේ පුත් රන්දිම ගමගේ මහතාට දීමට තීරණය වී ඉකුත් බදාදා ඔහු දිවුරුම් දීමට නියමිතව තිබුණද මාතර දිස්ත්‍රික්කයේ මැති ඇමැති පිරිසකගෙන් එල්ලවූ විරෝධය හමුවේ එය ව්‍යර්ථ විය.  


එම අමාත්‍යධුරය මීට පෙර මාතර දිස්ත්‍රික්කයට ලැබී තිබූ නිසා එය හිමිවිය යුත්තේ මාතර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයකුට බව මාතර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී පෙන්වා දී ඇත.  


දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයේද දැනට වැඩ බලමින් සිටී.  
පළාත් ක්‍රීඩා ඇමැතිධුරයට මනෝජ් සිරිසේන පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩු වන සභා නායකධුරය රන්දිම ගමගේ මහතාට දීමටද යෝජනාවී ඇත.