තොරතුරු පනතේ නිදහසෙන් කැබිනට් රැස්වීමේ තොරතුරුත් ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)  
තොරතුරු දැනගැනීමේ පනත යටතේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවල තොරතුරුද ලබාදෙන්නැයි පුද්ගලයින් සහ සංවිධාන කිහිපයක් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.  


කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ මහතා මේ බව ගිය අඟහරුවාද‌ා පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම්දී අැතැයිද එම ආරංචි මාර්ග පවසයි.  


කැබිනට් මණ්ඩල සාකච්ඡාවල තොරතුරු ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තාවේ.   


කැබිනට් මණ්ඩල රැස්වීම්වලදී සාකච්ඡා වන කාරණාවලින් පුද්ගලයින්ට ලබාදිය හැක්කේ කැබිනට් ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශකරන කාරණා පමණක් බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශකර ඇත.  


කැබිනට් රහස් ලබාදිය නොහැකි බවත් එම නිසා තොරතුරු දැනගැනීමේ පනතට සංශෝධන ගෙන ආ යුතු බවත් ඇමැතිවරුන් එහිදී ප්‍රකාශකර තිබේ.   


කැබිනට් මණ්ඩල තොරතුරු ආදිය ලබාදිය නොහැකි වන සේ තොරතුරු දැනගැනීමේ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජයේ අවධානය යොමුවී ඇතැයිද වාර්තාවේ.