තේ කම්හල් 62 ක් වැහිලා


(අජන්ත කුමාර අගලකඩ)

 
ඉකුත් වසර කීපය තුළ මෙරට ආර්ථිකයට එල්ල වූ බලපෑම හේතුවෙන් තේ කර්මාන්තශාලා 62ක් වසා දමා ඇතැයි වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.  

තවත් තේ කර්මාන්ත ශාලා 75ක් පමණ ඉතා අමාරුවෙන් පවත්වා ගෙන යන බව ද ඇමැති පතිරණ මහතා කීවේය.  
 මේ තත්ත්වය තුළ නව තේ කර්මාන්තශාලා සඳහා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ. කුඩා තේ වතු හිමියන්ගේ අමු තේ දළු සැපයීම වෙනුවෙන් තේ කර්මාන්තශාලා විසින් ඔවුන්ට රුපියල් කෝටි 20ක පමණ හිඟ මුදලක් ගෙවීමට ඇතැයි ද රමේෂ් පතිරණ මහතා කීවේය.  


 එම හිඟ මුදල් ගෙවීම සඳහා තේ කර්මාන්ත ශාලාවලට සහන ණය මුදලක් ලබා දීම වෙනුවෙන් රුපියල් කෝටි 50ක පමණ මුදලක් වෙන් කරන බව ද ඔහු සඳහන් කළේය.  
රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ කුඩා තේ වතු අංශයෙන් ලැබෙන අතර එමගින් ලක්ෂ 10කට පමණ ජීවනෝපාය සැපයෙනු ඇත.  
 මේ තත්ත්වය සැලකිල්ලට ගෙන කුඩා තේ වතු අංශය නගා සිටුවීම සඳහා සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමැති පතිරණ මහතා කීවේය.