තෙල් අලෙවි කරන්නේ පාඩුවට භාණ්ඩාගාරයට ගෙවන බදු අඩු කළොත් තෙල් සංස්ථාව ගොඩගත හැකියි


ඇමැති අමරවීරගෙන් කැබ්නට් පත්‍රිකාවක්  

(අජන්ත කුමාර අගලකඩ)  

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගොඩ ගැනීමට නම් ඉන්ධන මිල වැඩිකිරීමක් හෝ භාණ්ඩාගාරයට ගෙවන බදු අඩු කිරීමක් හෝ වහා කළ යුතුව ඇතැයි විදුලියබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.  

සංස්ථාව විසින් අලෙවි කරනු ලබන සියලුම ඉන්ධන වර්ග මේ වනවිට පාඩු ලබමින් අලෙවි කරන බව ද, ඉන්ධන සඳහා සංස්ථාව දරන පිරිවැය අනුව එම මිල ගණන් වැඩිවිය යුතු බව ද ඇමැති අමරවීර මහතා කැබිනට් සංදේශයක් මගින් අමාත්‍ය මණ්ඩලයට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.  


 රුපියල් 137 කට අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් පිරිවැය අනුව අවම වශයෙන් රුපියල් 147 කට ද රුපියල් 161 කට අලෙවි කරන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 170 කට ද රුපියල් 104කට අලෙවි කරන ඩීසල් ලීටරයක් රුපියල් 116 කට ද, රුපියල් 132 කට අලෙවි කරන සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 137 කට ද රුපියල් 70කට අලෙවි කරන භූමිතෙල් ලීටරයක් රුපියල් 100 කට ද අලෙවි කළ යුතුව ඇතැයි ඇමැතිවරයා පෙන්වා දී ඇත.  


 ඉන්ධන අලෙවි කළයුතු මෙම මිල ගණන් ගණනය කර ඇත්තේ සංස්ථාව විසින් ගෙවිය යුතු බැංකු ණය පොළිය සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුව ඇති අව ප්‍රමාණය සැලකිල්ලට නොගෙන බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත.  ඉන්ධන ණයට ලබාගෙන ඇති ආයතන විසින් සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් ද සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇත.  


ලංකා විදුලියබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 8,400 ක් පමණ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 8300 ක් ද පමණ වශයෙන් රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි 20,000 කට අධික මුදලක් සංස්ථාවට අයවිය යුතුව ඇති බව ද වාර්තා වේ.  


මේ තත්ත්වය හමුවේ සංස්ථාව දිගින් දිගටම ලබන පාඩුව පියවා ගැනීමට නම් එක්කෝ ඉන්ධන මිල වැඩි කළ යුතු බවත් එසේ නොමැතිනම් සංස්ථාව මහා භාණ්ඩාගාරයට ගෙවන බදු මුදල් අඩුකළ යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දී තිබේ.