තීන්දුව ගන්න ඉන්න මන්ත්‍රී සංයුතිය මෙහෙමයි


(අජන්ත කුමාර අගලකඩ)  
විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා මේ වනවිට පක්ෂවලට බෙදී සිටින ආකාරය මෙසේය.  


ඉකුත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 106කි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 95ක් හිමි වූ අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධුර 16ක් හා ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 6ක් හිමිවිය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කර මන්ත්‍රී ධුරයක් හිමිකරගත් අතර ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී. සංවිධානයට මන්ත්‍රී ධුරයක් හිමිවිය.  


එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 106 දෙනාම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 7 දෙනෙක්, රිෂාද් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් පී. දිගම්බරන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් සහ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරු තිදෙනෙක්ද ඇතුළත් වෙති. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් වෙනම තරග කර දිනූ මන්ත්‍රීවරයාද එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව කටයුතු කරයි.  


ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව කටයුතු කරන බැවින් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 96කි. ඉන් 42 දෙනකු ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන අතර මන්ත්‍රීවරු 52 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරති.  


විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.