තිරිඟු සෙස් බද්ද අඩුකළාට පිටි සහ පාන් මිල එහෙමමයි


(මහින්ද නිශ්ශංක)   
තිරිඟු පිටි සහ තිරිඟු ඇට සඳහා අය කළ සෙස් බද්ද රජය මගින් අඩු කළද මෙරට පිහිටි තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් තවමත් තිරිඟු පිටි මිල අඩුකර නැතැයි බේකරි හිමියෝ පවසති.  

පාන් නිෂ්පාදනය කිරීම සඳහා තිරිඟු පිටි මිලදී ගනු ලබන්නේ කිලෝවක් රුපියල් 90 බැගින් යයි පවසන බේකරි හිමියෝ මේ නිසා රජය මගින් තිරිඟුපිටි සහ තිරිඟු ඇට සඳහා ලබාදී ඇති සහනය ජනතාවට ලබාදීමට පාන් සහ බේකරි නිෂ්පාදන අඩු කළ නොහැකි බවද කියා සිටිති.  


තිරිඟුපිටි සහ තිරිඟු ඇට සඳහා අය කළ සෙස් බද්ද අඩු කිරීමෙන් මෙරට පිහිටි තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙකට වාසියක් වුණා මිස මහජනතාව හෝ බේකරි හිමියන්ට කිසිදු වාසියක් හෝ සහනයක් සිදුවී නැතැයි ද පවසන බේකරි හිමියෝ දැනට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා සියයට 15ක වැට් බදු සහ සියයට 2ක ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමට බේකරි හිමියන්ට සිදුවී ඇතැයි පෙන්වා දෙති.  
තිරිඟු ඇට සඳහා මෙතෙක් අය කළ කිලෝවකට රුපියල් 9.00ක් වූ සෙස් බද්ද රුපියල් 6.00 දක්වාද තිරිඟු පිටි කිලෝවක් සඳහා මෙ​ෙතක් අය කළ රුපියල් 25 ක් වූ සෙස් බද්ද රුපියල් 15 දක්වා රජය මගින් පසුගියදා අඩු කරනු ලැබීය.