තැපෑලේ කෝටි ගණන් වංචාවක් යටගහලා


(ශිරාන් රණසිංහ)  

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ විදේශ තැපැල් අංශය (ඊ.එම්.එස්.) වසර පහළොවක පමණ සිට කරගෙන ගිය රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් පිළිබඳව හෙළි වුවද ඒ පිළිබඳව විමර්ශනය කළ විමර්ශන නිලධාරින් සහ අභ්‍යන්තර විගණන නිලධාරින් එක්ව එම වංචාව යටපත් කර දමා ඇතැයි තැපැල් වෘත්තීය සමිති පවසති.  

මෙම මුල්‍ය වංචාව සිදුව ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ ඊ.එම්.එස්. (Expedited Mail Service) අංශයේය.  


පිටරටවලට පාර්සල් යැවීම හා එවීම සිදුකරන මෙම අංශයේ නිලධාරින් විසින් නියමිත ගාස්තුවලට අද‌ාළව නිකුත් කරනු ලබන රිසිට් පත්වල අඩු මිල ගණන් සඳහන් කර වසර ගණනාවක් තිස්සේ මෙලෙස මුදල් ලබාගෙන ඇතැයි මාස කිහිපයකට පෙර හෙළි වී ඇත.  


මෙරටින් පිටරටට යැවූ පාර්සලයක් යැවූ පුද්ගලයාටම ආපසු ලැබීමෙන් පසු එම පුද්ගලයා මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ කළ දැනුම් දීමකට අනුව මුදල් ගෙවූ ප්‍රමාණය හා රිසිට් පතේ සඳහන් මිල පරස්පර වීම නිසා ඒ පිළිබඳ සැකසිතී මේ පිළිබඳ පරික්ෂණ අරඹා තිබේ.  


පසුව ඊ.එම්.එස්. අංශයේ සහකාර තැපැල් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ විමර්ශන නිලධාරින් විමර්ශනය කර එහි සේවය කළ හත් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දුන් බව ද වෘත්තීය සමිති කියා සිටිති.  
මේ පිළිබඳ අභ්‍යන්තර විගණන අංශය හා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ද විගණනය කළ ඒ අයට කිසිදු දඬුවමක් ලබා නොදුන් බව ද වෘත්තීය සමිති කියා සිටිති.  


තැපැල් දෙපාර්තමේන්තුවේ ගනුදෙනු පිළිබඳ පසුගිය වසර පහළොවක පමණ කාලයක් නිසි විගණනයක් නොවූ බවට වෘත්තීය සමිති කරන චෝදනාව පිළිබඳ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ගෙන් ලංකාදීපය කළ විමසීමේදී ඔහු කියා සිටියේ පසුගිය කාලයේ දී රජයේ විගණක දෙපාර්තමේන්තුව කළ විගණනවල දී වැරදිකරුවන්ට දඬුවම් කළ බවක් හෝ රජයට කළ පාඩුව පියවා ගත් බවක් පිළිබඳ මතකයක් නොමැති බවයි.  


විගණන පනත ගෙනැවිත් ස්වාධීන විගණන කොමිසමකට නිසි බලය ලබාදෙන තෙක් මෙවැනි සිද්ධි යටපත් වීම පුදුමයට කාරණයක් නොවන බව ද රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් පැවසීය.