ත්‍රීරෝද ගාස්තු රුපියල් 10කින් ඉහළට


(මහින්ද නිශ්ශංක)  

ත්‍රීරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීමට ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කර ඇත.  

ලබන 26දා සිට දෙවැනි කිලෝ මීටරයේ සිට මෙම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කරන බව ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.  


ත්‍රිරෝද රථ නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවා ත්‍රි​ෙරා්ද රථ කර්මාන්තය ආරක්ෂා කළ යුතු බව තම ප්‍රධාන ඉල්ලීම බව පෙන්වා දෙන සභාපති ජයවර්ධන මහතා විශේෂයෙන් ත්‍රිරෝද රථ අමතර කොටස් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම ත්‍රිරෝද රථ කර්මාන්තය පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයක් මතුව ඇතැයිද කීය.  


මේ වනවිට වෙළෙඳපොළේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල සියයට 150-200ත් අතර ප්‍රමාණයකින් ඉහළගොස් ඇතැයිද පවසන සභාපතිවරයා ත්‍රිරෝද රථ අමතර කොටස් විශාල ලෙස ඉහළයාමත් සමඟම ව්‍යාජ අමතර කොටස් වෙළෙඳපොළට ඇතුලුවී ඇතැයිද මේ හේතුවෙන් ත්‍රිරෝද රථ නඩත්තුවේදී විශාල ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයිද පැවැසීය.  


ත්‍රිරෝද රථ නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවීම ඇතුලු ත්‍රිරෝද රථ කර්මාන්තයේ ගැටලු වහා විසඳන ලෙස තම සංගමය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුකර ඇතැයිද කී සභාපති ජයවර්ධන මහතා බලධාරින්ගෙන් කඩිනම් විසඳුම් නොලැබුණොත් අනිවාර්යයෙන්ම ලබන 26 දා සිට ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කරන බවද කීය.