තවමත් සාධාරණය ඉල්ලන මීතොටමුල්ලේ අසරණයෝ


ශ්‍රී ලංකා රජය කළ වැරැද්දට මේ අසරණයන් පලිද?

කොහාගේ නාදයත් සමඟ අලුත් අවුරුද්දක් ළඟ එන බවට ඈත අතීතයේ සිටම අප ලද අත්දැකීමකි. දින ගණනාවක් සිට අලුත් අවුරුද්දට ලෑස්ති වීමට සිංහලයන් අතීතයේ සිටම පුරුදුව සිටින්නේ දහසකුත් බලාපොරොත්තු සිත් තුළ රඳවා තබා ගනිමිනි. ගේ දොර පිරිසිදු කිරීම, අලුත් ඇඳුම් පැළඳුම් පිළියෙල කිරීම, නැවුම් හැළි වළන් මිලදී ගැනීමට අමතරව අවුරුද්දට සුවිශේෂ වූ කැවිලි පෙවිලි ලක ලෑස්ති කරමින් නව අවුරුදු සැමරීමට ලොකු කුඩා සැම දෙනෙක්ම දින ගණන් කරමින් සිටිති.   


එවැනි දහසකුත් බලාපොරොත්තු සිත්හි තබාගෙන සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු සැමරීමට සිටි මීතොටමුල්ලේ ජනතාවට ඒ සියල්ලම සුන්වී ගියේ කිසිවෙකුත් නොසිතූ වෙලාවකය. ඒ මීට වසරකට පෙර 2017 අප්‍රේල් 14වෙනිද‌ා පස්වරු 3 ත් 4 ත් අතර සිදුවූ ඛේදවාචකය නිසාවෙනි. එය සිදුවී අද (22) වෙන විට වසරකුත් දින 08ක් ගතවී ඇත. ඒ මීතොටමුල්ල කුණු කන්ද හදිසියේම නාය යාම හේතුවෙනි.   


 කුණු කන්ද අවට ජීවත් වූ දහස් සංඛ්‍යාත ලොකු කුඩා මහලු සියලු දෙනා නව වසරේ දහසකුත් බලාපොරොත්තු තබා සිටියද ඒ සියල්ලම පැයක් වැනි සුළු කාලයකින් කුණු කන්දට යටවී ගියේ මුළු ශ්‍රී ලංකාවාසීන්ගේම හදවත් සසල කරවමිනි.   


එහෙත්​ දෛවයේ සරදම් අනුව අනුන්ගේ කුණු තම කරමතින් දරා ඊට යටවීමෙන් අහිංසක මිනිස් ජීවිත 40 කට වඩා බිලි විය. නිවාස 250ක් පමණ විනාශ වීමෙන් එම ජනතාවට යන එන මං නැති විය. දරුවන්ට දෙමාපියන්, දෙමාපියන්ට දරුවනුත් සහෝදර සහෝදරියන්ට, සහෝදර සහෝදරියනුත් අහිමි විය. වසර ගණනාවක් පුරා තම ජීවිත සමඟ දුක සැප බෙද‌ා හද‌ාගත් අසල්වාසීන්, ඥාති හිතමිතුරන්, අහිමි විය. වෙනද‌ාට ඝෝෂාවෙන් පිරි මීතොටමුල්ල, දහම්පුර, පන්සල්හේන, නාගහමුල්ල හා 23 වත්ත යන ප්‍රදේශ අද පාළු ස්වභාවයක් ගෙන ඇත. හරියට පාළු කනත්තක ස්වභාවයක් උසුලයි. දහස් ගණනක් වූ පවුල් එකට ජීවත් වූ එම ප්‍රදේශවල අද ජීවත් වෙන්නේ පවුල් 6-7 ක් පමණි. ඔවුන් සිය නිවෙස් දිහා ඇස් ඇර බලන්නේවත් නැත. අහම්බෙන් හරි බැලුවහොත් දෙඇස්වලට කඳුළු ගලා එයි. ඔවුන් ජීවත් වූ නිවෙස් අද සුණු විසුණු වී ගොස්ය. ඔවුන් ජීවිතය ගත කළ නිවෙස් අවට ගස් කොළන් සුපුරුදු පරිදි නිදහසේ සුළඟට සෙළවෙයි. නිවෙස්වල අති දැඩි කළ කිසිවක් කර කියා ගත නොහැකි සුනඛයින් රංචු ගැසී ඔවුන්ගේ ස්වාමියන් සොයා ඉව අල්ලමින් අදටත් එහා මෙහා ගමන් කරති.   
මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූ බොහෝ දෙනකු අද පදිංචිව සිටින්නේ කුලී නිවෙස්වලය. එහෙත් දැනට එහි අවද‌ානම නොතකා යන්නට තැනක් නොමැති කිහිප​ දෙනෙක් පමණක් අද කුණු කන්දට සාප කරමින් එහිම ජීවත් වෙති. ඔවුන් කිහිප දෙනෙකු හමුවී අපි සාකච්ඡා කළේ මේ ඛේදවාචකයට වසරක් ගතවී ඇතත් ඔවුන්ගේ දුක්ගැනවිල්ල තවමත් නිවී ගොස් නැති නිසාවෙනි.   


 මුලින්ම හමුවූයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියදී මේ ඛේදවාචකය නිසා සිය නිවස අහිමිව සිටි කපිල තුෂාර පෙරේරා මහතා සමඟයි. ඔහු සඳහන් කළේ,   


“හරියටම මේ කුණු කන්ද පුපුරලා විනාශ වුණේ මීට වසරකට පෙරයි. ඒ 2017 අප්‍රේල් 14 වැනිද‌ා පස්වරු 3.30ත් 4.00 වගේ කාලයක් තුළදියි. දැන් වසරක් ගත වුණා. හානියට පත් නිවාසවල වටිනාකම තක්සේරු කරලා තිබෙනවා මේ ඛේදවාචකයෙන් සතියකට පසු අග්‍රාමාත්‍යවරයා අපිව අරලියගහ මන්දිරයට කැඳවා නිලධාරීන්ව දැනුවත් කළා අපි ඉදිරිපිටදීම ඉඩම් හා නිවාස තක්සේරු කිරී​ෙම්දී රුපියල් ලක්ෂ 50 ඉක්මවන සාධාරණ මුදලක් අපිට ලබාදෙන්න කියලා. නමුත් සිද්ධ වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. විනාශ වූ නිවාසවලට තක්සේරු කළේ ඉතාම අඩුම මිලක්. සමහර නිවාසවලට ලක්ෂ 10 යි ලක්ෂ 12ක් වගේ වටිනාකමක් තමයි තක්සේරු කළේ. නිවෙස් ඉදි කළ භූමියේ තක්සේරුව තවම ලබාදී නැහැ. අද‌ාළ ආයතන එකිනෙකා අතර බෝලය පාස් කරන තත්ත්වයක් තමයි අපිට දැනෙන්නේ. වසරක් ගතවී ඇතත් ඔවුන් කඹ ඇදිල්ලක් තමයි දැන් සිද්ධ කරන්නේ. අපිට සිතා ගන්නට බැහැ කවද‌ා මෙය නිමා වෙයිද කියලා.   


 දැනට මාස 10ක් වෙනවා. තවමත් කුලිය ගෙවලා නැහැ. අපි මේ පිළිබඳව දිගින් දිගටම බලධාරීන් දැනුවත් කරලා විරෝධය පළ කිරීමේ හේතුව නිසා මාස 6ක කුලී මුදලක් ලබා දුන්නා. තවත් මාස 4ක මුදලක් ලැබෙන්න තිබෙනවා. අපි මෙතනදී මුහුණ පෑව තවත් ගැටලුවක් තමයි කුලියට ගෙයක් සොයා ගන්න තිබෙන ප්‍රශ්නය. මේ සිද්ධියෙන් පස්සේ රුපියල් 10,000ට 15,000ට කුලියට දීපු නිවාස කෙළින්ම රුපියල් 30,000-40,000ත් අතර මිලකට ඉහළ ගියා. අනික අපේ දරුවෝ පාසල් ගියේ මේ අවට ප්‍රදේශයේ පාසල්වලට. එක පාරටම වෙනත් තැනකට ගිහාම පාසලක් සොයා ගන්න බැහැ. අපේ රැකියා පවා අහිමිවීමේ තත්ත්වයක් උද‌ා වුණා. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න බැරි නිසා අපි ඒ මුදලට මේ අවටින් නිවාස ලබා ගත්තා.   


 දැන් මේ කුණු කන්ද නාය ගිහින් අවුරුද්දක් වුණා. හතර පාරක් කන්ද ගිනිගත්තා. දැනට මීතොටමුල්ල පැත්තට අවද‌ානමක් නොතිබුණාට අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට අවද‌ානමක් තිබෙනවා. කොයි මොහොතක හෝ මේ කුණු කන්ද ඒ පැත්තට පෙරළන්න තිබෙන අවස්ථාව වැඩියි. අපිට දැන් නිවාස අහිමි වුණා. අපි ප්‍රදේශවාසීන් හැටියට ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එහා පැත්ත නාය යාමට පෙර හෝ ඊට අවධානය යොමු කරන්න කියලා. වසරක් ගත වුණත් රජයට බැරි වුණා තවමත් මෙයට විසඳුමක් ලබාදෙන්න.

   
මොකද මේ කුණු කන්ද අපිට කුණු ගොඩක් වුණාට තවත් පිරිසකට මෙය මසුරන් කන්දක්. මේ කුණු කන්ද නිසා යැපුණු බොහෝ දෙනෙක් සිටියා. කොළඹ මහ නගර සභාව හා කොලොන්නාව නගර සභාව විතරයි කුණු දැමුවේ. නමුත් ඇතැම් ජාවාරම්කරුවන් විවිධ ආයතනවලින් කප්පම් ලබාගෙන කුණු ගෙනත් දැම්මා. ඒ සඳහා නගර සභාවේ ඇතැම් අය බොහෝ වාසි ලබා ගත්තා. අපි දන්නවා මෙතන විශාල මාෆියාවක් ගියා. ඇතැම් අයට මෙය සල්ලි කන්දක්. අපි නැවතත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ස්ථීර විසඳුමක් ලබා දෙන්න කියලා.”   


 දැන් කුණු ගෙනත් දැමීම නතර වී තිබුණත් මීට වසරකට පමණ පෙර දිනකට ටොන් දහසක කුණු තොගයක් මේ කුණු කන්දට එකතු විය. මෙය නතර කරන ලෙසට මීතොටමුල්ල ප්‍රදේශවාසීන් 2013 වසරේ සිට ඉල්ලීම් කරමින් උද්ඝෝෂණවල පවා නිරත වූහ. නමුත් ඔවුන්ට ඉන් ඉතිරි වූයේ බැටන් ප්‍රහාරයන්ට මුහුණ දී ලද තුවාල පමණි. ඇතැමෙක් බන්ධනාගාර ගත විය. අවසාන ප්‍රතිඵලය වූයේ මිනිස් ජීවිත 40ක් කුණු කන්දට යටවී සිය ජීවිතයෙන් වන්දි ගෙවීමටයි.   


 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීතොටමුල්ල, දහම්පුර පදිංචි එම්. ස්වර්ණ තිලකා බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළේ මේ අවට ජීවත් වූ පවුල් 100 කට වැඩි පිරිසක් සිය නිවාස අත්හැර ගිය බවයි. දැන් පවුල් 30ක් පමණ දහම්පුර අවට පදිංචි වී ඇති බවත් ඇය සඳහන් කළාය.   


 “මේ කුණු කන්ද නාය ගිහිල්ලා අවුරුද්දක් ගතවෙලත් තාම බිම් කුලියවත්, එහි තක්සේරු මුදලවත් ගෙව්වේ නැහැ. සමහර අයට කුලී මුදලවත් දීලා නැහැ. ඒවා ලබා ගන්න ගියාම සින්නක්කර ඔප්පු ඕනෑ කියනවා. අපි අවුරුදු 50-60 ටත් වැඩි කාලයක් ඉඳලා මේ ප්‍රදේශයේ පදිංචි අය, කුණු කන්ද නාය ගියේ ඔප්පු තිබෙන අය නැති අයගේ නිවාස බලලා නෙමෙයිනේ. අනික මේ අපි දමපු කුණු නොවෙයි. මේ කොළඹ අවට ජීවත්වෙන අය ගෙනත් දමන කුණු. ඉතින් ඒවායින් වන්දි ගෙව්වේ අපි. ඉතින් ඔප්පු නැති අය දැන් මීටත් වඩා අසරණ වෙලා ඉන්නේ. මිනිස්සු එක එක ආයතන පස්සේ දුවනවා තමන්​ෙග් ප්‍රශ්නයට අද හෙට විසඳුමක් දෙයි කියලා. ඔප්පු හද‌ාගන්න කියලා කියනවා. නිවාස අධිකාරියට මුදල් ගෙවලා ඔප්පු හද‌ාගත් අයට සුළු මුදලක් හම්බ වුණා. ඔප්පු නැති අය තවම එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නවා.   


 මේ අපි ඉන්නේ කුණු කන්ද අසල තිබෙන දහම්පුර කියන ප්‍රදේශයේ. මේ ප්‍රදේශය අවට පවුල් සියයකට වැඩි පිරිසක් ජීවත් වුණා. ඔවුන්ගෙන් 96 දෙනෙක් පමණ වෙනත් ප්‍රදේශවලට ගිහින් පදිංචි වෙලා ඉන්නේ. ඔවුගෙනුත් කොටසකට තමයි කුලී මුදල් හම්බ වුණේ. මෙතන අවද‌ානම් කියලා ආරක්ෂක අංශ ඇවිත් ලකුණු කළා. මුලින්ම රුපියල් 50,000ක් දෙන්නම් කුලී මුදල් වශයෙන් ඉවත් වෙන්න කියලා. ඒ විශ්වාසය නිසා බොහෝ දෙනෙක් ඉවත් වුණා. ගියාට පස්සේ රජයෙන් ඒ සියල්ල අමතක කළා. අනික මේ අතඇරලා ගිය නිවාස ආරක්ෂා කරන්න කිසිදු වැඩපිළිවෙලක් ආණ්ඩුව ගත්තේ නැහැ. ඒක නිසා නිවාස අයිතිකරුවන්ගේ නිවාසවල වහලවල්, දොර ජනෙල් වගේ දේවල් මේ අවට සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය ගලවාගෙන ගියා. ඒක නිසා පිට මිනිස්සු ඒවා ගලවගෙන යාම බලන් ඉන්න බැරි නිසා කිහිප දෙනෙක් ඒ දේවල් ගලවා ගෙන ගියා.   
ඇත්තටම අවද‌ානම් කිව්වට දැන් නම් අවද‌ානමක් නැහැ. ඒ අවස්ථාවේදී කඩිමුඩියේ ආරක්ෂක අංශ අවද‌ානම් කියලා සළකුණු කළා. නමුත් මේ නිවාසවල ඉරිතැලීමක්වත් වෙලා නැහැ. කිසිම අවද‌ානමක් නැහැ. මේ පිරිස නොදැනුවත්ව කළ දෙයක් මේක. ඒක නිසා වසර 40-50 ජීවත් වෙච්ච මිනිස්සු නිවාස අතහැරලා ගියා. දැන් අවුරුද්දක් ගියත් කිසිම බලධාරියෙක් ආවේ ගියේ නැහැ. දැන් මම කියන්නේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාවත් මේ ප්‍රදේශයේ ඇත්ත තත්ත්වය බලන්න එන්න ඕනෑ. ඔවුන් නිලධාරීන්ට පවරලා ඉන්නවා. නිලධාරීන්ගේ හිතවත්කමට තමයි වන්දි ගෙවීම්, දීමනා, වැඩි තක්සේරු මුදල් ලබා දෙන්නේ. මම කියන්නේ අඩුම තරමින් ජනාධිපති හෝ අගමැති මේ ප්‍රදේශයට එන්න ඕනෑ. ඔවුන් ඇවිල්ලා ජනතාව සමඟ සැබෑ තත්ත්වය පිළිබඳ කතා බහ කරන්න ඕනෑ. එතකොට මේ අහිංසක මිනිස්සු රස්තියාදු වෙන්නේ නැහැ. මිනිස්සු මේ පැත්ත බලලා අඬනවා. ඔවුන් මානසිකව වැටිලා. විශාල පීඩනයක ඉන්නේ. උදේට උදේට ඇවිත් අඬ අඬා යනවා. මොකද බිම් තක්සේරුව කවද‌ා ලබා දෙයිද කියලා අනික කුලී සල්ලි දෙන්න බැරි නම් කොහොමද බිම් කුලියක් දෙන්නේ. ඒක නිසා හරිම අවිනිශ්චිත තත්ත්වයක මේ මිනිස්සු ජීවත් වෙන්නේ.   


මේ සම්බන්ධව අදහස් පළ කළ පන්සල්හේන ප්‍රදේශයේ පදිංචි එම්.ජී. සිරියාවතී මහත්මිය ප්‍රකාශ කළේ වසර ගණනාවක් පුරා මෙහි පදිංචිව සිටින තමන් දැන් ඉතාමත් අසරණ තත්ත්වයකට පත්වී සිටින බවකි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමද‌ාස මහතා විසින් මෙම භූමිය ලබා දුන් ලියකියවිලි පවා තිබෙන අපට දැන් පදිංචිය පිළිබඳ සනාථ කිරීමට ලියකියවිලි ඉල්ලා සිටීම ඉතා අසාධාරණ බව ඇය ප්‍රකාශ කළාය.   


 “අපේ නිවාසවලට අවද‌ානම් කලාපය කියලා ලකුණු කළා. ඊට පස්සේ අපිට ඉවත් වෙන්න කියලා දැනුම් දුන්නට පස්සේ අපි කුලියට නිවසක් සොයා ගත්තා. නමුත් දැන් අපිට කුලී සල්ලි ලබා දෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද කුලී නොගෙවා කුලී නිවෙසක ඉන්නේ? මාස 3-4ක් විතර කුලී සල්ලි දුන්නා. එතනින් එහාට නැහැ. මාස 6ක මුදල් අපිට දෙන්න ඕනෑ. දෙනවා දෙනවා කිය කිය ඉන්නවා නමුත් දෙන්නේ නැහැ. අපි පළාත්වාසීන්​ එකතු වෙලා උද්ඝෝෂණ කළා. දැන් කුලී සල්ලි පාස් වෙලා කියලා එන්න කියලා දැනුම් දුන්නා. නමුත් අපිට දැනුම් දීමක් කළේ නැහැ. ඔප්පු තිබෙන අයට පමණක් එන්න කියලා දැනුම් දුන්නා. අපි අද‌ාළ තැන්වලට ගිහින් අපේ දුක්ගැලවිල්ල කිව්වා. නමුත් අපට ඉහළින් නියෝග ලැබිලා තිබෙන්නේ ඔප්පු තිබෙන අයට පමණක් මුදල් ගෙවන්න කියලා ඔවුන් අපට දැනුම් දුන්නා.   


 අපිට ඔප්පු නොමැති වුණාට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමද‌ාස මහතා ලිඛිතව දැනුම් දීපු මේ ලියවිල්ල ඔප්පුවක් තමයි. රටේ හිටපු නායකයෙක් මේක ලබා දුන්නේ. අපි සෑම තැනකටම ගියා මේ ලියවිලි රැගෙන. අපිට දිසාපති කාර්යාලයෙන් දැනුම් දුන්නා අවුරුදු නිවාඩු නිසා පහුගිය 18 වැනිද‌ා නැවත එන්න කියලා. අපි 09 දෙනෙක් 18 වැනිද‌ා ගියා. අපිට දැනුම් දීමක් දෙන්නම් කියලා අපිව නැවත හරවල එව්වා. අපේ ප්‍රධානියා දැන් නැහැ. එයාලගේ ලියුම් සකස් කරලා තිබෙන්නේ පොඩි වැරැද්දක් වෙලා තිබෙනවා. ඒක නිවැරදි කරලා දැනුම් දෙන්නම් කියලා අපිට දැන්වූවා. අපි අවුරුද්දකට මේ ගේ කුලියට ගත්තේ. ලබන මාසේ ඒ කාලය අවසන් වෙනවා. ඊට පස්සේ අපි කොහෙටද යන්නේ.  


 කුලී මුදල් දෙන්න බැරි වුණත් මම තීරණය කළේ කොතරම් අවද‌ානම් වුණත් අපි නැවත අපේ නිවසට පදිංචියට යනවා කියලා. අපේ නිවාසවල දොර ජනෙල් කුඩුවලට පුරුදු වෙලා ඉන්න අය සේරම ගලවගෙන ගිහින්. වහල අපි ගලවා ගත්තා. අපි ඒවා නැවත සකස් කරගෙන නැවත ඒ නිවසටම යනවා. මොකද ගොඩනැගිල්ලට ලක්ෂ 13ක් තක්සේරු කළා. මේ ප්‍රදේශයෙන් ලක්ෂ 13 කට නිවසක් ගන්න බැහැනේ. ඒ නිසා තමයි භූමියේ අයිතිය අපි ඉල්ලුවේ. ඒක අද දෙන්නම් හෙට දෙන්නම් කිව්වා, තවම නැහැ. මම නම් දැන් අධිෂ්ඨාන කළේ ගොඩනැගිල්ලේ තක්සේරු මුදල අරගෙන නැවත ඒ නිවසටම පදිංචියට යනවා. මොකද අපිට නැතිවෙන්න දෙයක් නැහැ. අපේ සේරම නැතිවෙලා ඉවරයි. අපි ඒ අවද‌ානම් කලාපයේ නිවසට ගිහින් මොනයම් හෝ දෙයක් අපට සිදු වුවහොත් රජය ඒ වගකීම අනිවාර්යයෙන්ම බාරගන්න ඕනෑ. ඔවුන් වගකීම බාරගත්තත් නැතත් දැන් කරන්න දෙයක් නැහැ. 40 කට ආසන්න පිරිසක් මිය ගියාට පස්සේ තවත් මොනවට වග කියනවාද?”  


වසරක් ගතවී ඇතත් තවමත් මේ ඛේදවාචකයට මුහුණ දුන් අයට සාධාරණයක් වෙලා නොමැති බව පන්සල්හේන ප්‍රදේශවාසී අමිල නුවන් මහතා ප්‍රකාශ කළේය. ඒ පිළිබඳ සොයා බැලීමක් දැන් නැහැ. මීට වසරකට පෙර අසරණ වූ අය තවමත් ඒ විදිහටම ජීවත්වෙන බවද ඔහු ප්‍රකාශ කළේය.  


මේ අතර මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් සමරා පසුගියද‌ා ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක්ඛ දෝමනස්සයන් සිහි කරමින් චාම් ගුණ සැමරුම් උත්සවයක් ද පැවැත්විණි. පසුගිය වසරේ සිට මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ට බක්මහ උද‌ාවෙන්නේ ප්‍රියයන්ගේ වේදනාවේ කඳුළු එකතු කරමිනි.  


 මේ අතර මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් ඉඩම් අහිමි වූ ඒ සම්බන්ධව අභියාචනා ඉදිරිපත් කළ අයට වන්දි ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට කටයුතු කරන බව ආපද‌ා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. දැනට රජයෙන් ලබාදී ඇති නිවාස ලබා නොගෙන නිවාස ආධාර ලබාගන්නා පිරිසගේ නිවාස ආධාර ලබා දීම මැයි මාසය දක්වා දීර්ඝ කරන ලෙස අමාත්‍යවරයා අද‌ාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. 

 

 

 

 

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර  
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය