තවත් මල් කැකුළක් තළා දැමූ නරුම ගුරෙක්


දශක තුන හතරකට පමණ පෙර ගමේ ප්‍රභූන් සේ සලකනු ලැබූවන් අතර වෙද මහතා, ග්‍රාම නිලධාරියා හා ගුරුවරයාට විශේෂ තැනක් හිමි විය. ගුරුවරයා තමන්ගේ සේවය වැටුප වෙනුවෙන්ම කරන්නක් සේ නොව සමාජ සේවයක් සේ ද සලකමින් උපරිමයෙන් ඉටු කරනු ලැබිණ. පාසල් කාලයෙන් පසුව නිවසේදී මෙන්ම ඇතැම් අවස්ථාවල පාසලේම අමතර කාලයක් රැඳෙමින් අධ්‍යාපන වශයෙන් දුර්වල දරුවන්ගේ දියුණුව වෙනුවෙන් ඔවුහු කැපවූහ. ඒ ගුරුවරු සැබවින්ම සමාජයේ පිදුම් ලැබීමට සුදුස්සන් වූහ.   


එහෙත් දේශපාලනයේත් ආර්ථිකයේත් සිදු වූ වෙනස්කම් අනුව මුදල් නැත්නම් කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් මතුවූයෙන් සියලු සේවා මුදල් අයකර සිදුකිරීමට කාට කාටත් බලකෙරිණ. ගුරුවරයා මත ද ඒ බලකිරීමම ඇති කෙරිණ. ඒ නිසා ස්වේච්ඡාවෙන් දරුවන් වෙනුවෙන් අමතර කාලයක් ගත කළ ගුරුවරයා වෙනුවට පාසල් කාලයටත් වඩා උනන්දුවෙන් මුදල් අයකර අමතර පන්ති කරන ගුරුවරු බිහිවූහ. ටියුෂන් ලෝකයේ තරගකාරිත්වය අනුව පොතපතේ දැනුම ලබාදීමෙන් පමණක් තමන්ගේ ටියුෂන් පන්තියට සිසුන් අද්දවා ගත නොහැකි යැයි සිතූ ඇතැම් ගුරුවරු ගුරුවරුන්ට නොගැළපෙන අසැබි කතා රසවත්ව කියන්නට පෙළඹුණහ.   


ඒ සමාජ පරිහානියේ තරම කෙතෙක්ද යත් අද වන විට ගුරුවරයා දරුවන්ට මඟපෙන්වන්නකු වෙනවා වෙනුවට ඔවුන් නොමඟ ගෙන යන්නෙකුගේ තත්ත්වයට පත්ව තිබේ. සමාජයේ සිදුවන අපචාර ක්‍රියාවලින් දරුවන් බේරා ගැනීමට මඟ පෙන්විය යුතු ගුරුවරයා අද ළමා අපචාරවල යෙදෙන්නකු බවට පත්ව තිබේ. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පාසල්වල මුල් ගුරුවරුන්, ගුරුවරුන් මෙන්ම ටියුෂන් ගුරුවරුන් ද අත්අඩංගුවට පත් වූ අවස්ථා වත්මන් සමාජයේ බොහෝය. පසුගියදා බණ්ඩාරගම ප්‍රදේශයෙන් ද එවැනි ටියුෂන් ගුරුවරයකු පිළිබඳව අසන්නට ලැබිණ. ඔහු ටියුෂන් ගුරුවරයකු පමණක් නොව පිරිවෙන් ගුරුවරයකු බවට ද තොරතුරු වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.   


52 වැනි වියේ පසුවන මේ ගුරුවරයා නිත්‍යානුකූල විවාහයකින් දරුවන් තිදෙනකු ද, නිත්‍යානුකූල නොවන විවාහයකින් දරුවන් දෙදෙනකු සිටින පස්දරු පියෙකි. ඔහුගේ නිත්‍යනුකූල බිරිඳ උඩරට ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරියකි. ඒ පවුලේ දරුවන් තිදෙනා පාසල් අධ්‍යාපනය හමාර කොට උසස් අධ්‍යාපනය ද ලබන අතර එක් දරුවකු කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන බව ද පොලිසිය පවසයි. පළමු බිරිඳ සමඟ ජීවත්වන අතර තමන්ගෙන් ඉගෙන ගැනීමට පැමිණි සිසුවියක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් මේ ටියුෂන් ගුරුවරයා පසුව ඇයත් රැගෙන මීට වසර දොළහකට පමණ පෙර බණ්ඩාරගම ප්‍රදේශයට පලා ආවේය.   


පළමු කසාදයෙන් නිත්‍යානුකූලව වෙන් නොවූ ටියුෂන් ගුරුවරයාගේ අනියම් බිරිඳ බවට පත්වීමට ඔහු සමඟ පළා ආ සිසුවියට සිදුවිය. එසේ අනියම් බිරිඳ වෙමින් ඔහුට දාව දරුවන් දෙදෙනෙකු බිහිකළ අතර ඔවුහු අවුරුදු හත හා පහ වයස්වල පසුවෙති. නොහික්මුණ ටියුෂන් ගුරුවරයකු සමඟ පළා ඒමේ වරදට අද ඇයට ද පළමු බිරිඳට අත්පත් වූ ඉරණමටම මුහුණ දීමට සිදුව තිබේ.   
මෙම ගුරුවරයා වසර දෙකහමාරක් තිස්සේ පාසල් දැරියක අපයෝජනය කර ඇති බවට තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකිවන්නේ අතවරයට පත් සිසුවියගේ වැඩිමහල් සහෝදරයාට ඇති වූ කුකුසක් මත කළ සොයාබැලීම නිසාය.   


පොලිසිය සොයාගත් කරුණු අනුව ඇගේ කතාව මෙසේය.   


ඇය දැන් අවුරුදු දහඅටක් වයසැති උසස් පෙළ සිසුවියකි. ඇය සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා කාලයේදී  “සාමාන්‍ය පෙළ ගණිතයට ඒ සාමාර්ථයක් ගන්න ආසා නැතිදැ”යි සැකකාර ටියුෂන් ගුරුවරයා විමසා තිබේ. ගණිතයට ඒ සාමාර්ථයක් ලබාගන්නට අකමැති සිසුවෙක් සිටීද? ඇය වහාම ප්‍රතිචාර දක්වමින් “අනේ ඔව් සර්” යැයි පවසන්නට ඇත. එහෙම නම් මේ පන්තියට ඇවිත් මදි. ඔයාට මං තනියෙම පන්තියක් කරන්නම්. ඒකට එන්න යැයි උපදෙස් දුන්නේය. ඒ අනුව ගෙදරට ද දැනුම් දී ඇය අමතර පන්තියට ගියාය.   


ගුරුවරයාට භක්තියෙන් සැලකූ ඇය ගුරුභක්තිය ඇතිවම පන්ති කාමරයට පිවිසුණාය. ගුරුවරයා ඇය එන තුරු වේලාසනම පන්තියට පැමිණ සිටියේය. තව කවුරුවත් ආවොත් ලෙඩක් වෙනවා. ඒ නිසා මම දොර වහන්නම් කියා සැකකාර ගුරුවරයා පන්තියේ දොර ද වසා දැමුවේය. දැන් ඉතිං තවත් ඉවසනු කුමට? ඔහු දැරියට ළං වුණේය.   

 

 

 


‘‘ඔයාට තේරෙනවද ඇයි මං මේ අමතර පන්තියක් දාගෙන උගන්වන්නේ කියලා.”   


කුමක් කියන්නදැයි සිතාගැනීමට නොහැකිව දැරිය සිය ගුරුවරයා දෙස බලා සිටින්නට ඇත.   


‘‘මං ඔයාට ආදරෙයි දරුවෝ” ඔහු ඇගේ පිට අතගාන්නට ඇත. ඉන්පසු සෙමෙන් ළංවී ඇයව තුරුලට ගන්නට ද ඇත.   


‘‘මං මේ අවස්ථාව උදා වෙන කල් කොයි තරම් බලා හිටියද කියලා ඔයා දන්නවාද?” ඇය තූෂ්නිම්භූතය. කෑ ගැසීමට ද නොහැකිය. ඒ සාමාර්ථයක් ගැනීමේ සිහිනය බොඳ වේ දැයි ඇයට බයක් දැනෙන්නට ඇත. එසේම ගුරුවරයා තවත් කුමන උපක්‍රම යොදා තිබේදැයි දන්නේ ද නැත. තවමත් අවුරුදු දහසයක්වත් නැති මෙවැනි දේවල් පිළිබඳව අත්දැකීමක් නැති ගමේ දැරියක වූ සිසුවිය මුවැත්තියක සේ බිය පත්වන්නට ද ඇත.   


‘‘බය වෙන්න එපා ළමයෝ මම ඔයාව අත්අරින්නේ නැහැ. ඔයාට හොඳට ඉගෙන ගන්න උදව් කරනවා වගේම මම ඔයාව මගේම කරගන්නවා ” යැයි ඔහු නොයෙකුත් පූචානම් කතා කියමින් ඇය සිය වසගයට ගන්නට උත්සාහ කරන්නට ඇත.   


 එවැනි රැවටීම් බස් පවසා ඔහු ඇයව දූෂණය කර තිබෙන බවට පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී තොරතුරු වාර්තා වී තිබේ. ඇය පළමු වරට දූෂණයට ලක් කිරීමෙන් පසු මේ බව කාටවත් නොකියන ලෙසත් එසේ කළ හොත් මේ සිදුවීම තමන් ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති නිසා එය අන්තර්ජාලයට මුදාහරින බවටත් තර්ජනය කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.   


කිසිවෙකුට කිසිවක් නොකියා සිටීමට දැරිය පරිස්සම් වූයේ මේ තර්ජනය නිසාය. එහෙත් සිදු වූ දෙයින් හෝන්දු මාන්දු වූ ඇය පසු දින පාසල් නොගියාය. අමතර පන්ති යාමට ද මැළි වූවාය. ඒ ගැන දෙමාපියන්ට විවිධ හේතු දැක්වීමට ද ඇය පෙළඹුණාය. එවිට ඇය පන්තියට නොපැමිණෙන්නේ මන්දැයි දැරියගේ පියා අමතා විමසන්නට තරම් සැකකාර ගුරුවරයා පෙළඹුණේය. ඉන්පසු දැරිය අධ්‍යාපනයට තිබූ උනන්දුව අත්හැර ඇතැයි සිතූ ඇගේ දෙමාපියෝ අමතර පන්තියට යන ලෙසට බල කළහ. ඒ බල කිරීම මත ඇය අමතර පන්තියට ගියාය.   


එතැන් සිට දිගින් දිගටම සැකකාර ගුරුවරයාගේ අතවරයට ලක්වීමට මේ සිසුවියට සිදු වූ අතර ඇය සමඟ ලිංගික සබඳතා පැවැත් වූ සෑම අවස්ථාවකම ෆාමසියෙන් ලබාගත් බෙහෙත් පෙත්තක් එම අවස්ථාවේම බොන්නට දී තවත් පෙත්තක් පැය දොළහකට පසු බොන ලෙස උපදෙස් දී අතට දුන් බවත් සිසුවිය පොලිසියට පවසා ඇත. 

 

 

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කරමින්

 


මේ වන විට උසස් පෙළ හදාරන සිසුවියක වන ඇය පසුගිය කාලයේ බරපතළ ලෙස කල්පනා කරමින් සිටින බව දුටු ඇගේ සහෝදරයා ඒ ගැන විමසා ඇත. එහෙත් ඊට පිළිගත හැකි පිළිතුරක් නොලැබුණෙන් ඇය ගැන විපරමින් සිටි සහෝදරයාට දිනක් සිය නැගණිය තවත් කවුදෝ සමඟ කළ කතාබහක් අසන්නට ලැබිණ. එයට උනන්දුවෙන් සවන් යොමාගෙන සිටි ඔහුට නැගණිය ගැටලුවකට මුහුණ පා ඇති බව පැහැදිලි විය.   


පසුව ඔහු ඒ ගැන පියාට ද දැනුම් දී නැගණියගෙන් ප්‍රශ්න කළේය. තමන් අතවරයට ලක් කරන ටියුෂන් ගුරුවරයා ගැන සිසුවිය සහෝදරයාටත් පියාටත් හෙළි කළේ ඒ අවස්ථාවේදීය. එහෙත් මේ ගැන කිසිවක් නොකරන ලෙසත් එසේ කළහොත් තමන්ගේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහරිනු ඇති බවත් ඇය හැඬූ කඳුළෙන් යුතුව කියා සිටියේය. එහෙත් ඇයට බය නොවන ලෙස උපදෙස් දුන් පියා මේ පිළිබඳව තමන්ගේ ප්‍රදේශයේ පොලිසියට දැනුම් දුන්නේය.   


එම පොලිසිය ඒ පිළිබඳව බණ්ඩාරගම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව බණ්ඩාරගම පොලිසිය එදිනම අදාළ සැකකාර ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබිණ. සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කළ පොලිසිය ටියුෂන් පන්තිය ද පරීක්ෂාවට ලක් කළේය. එහි තිබූ ඇඳ ඇතිරිල්ලක් ද පොලිස් භාරයට ගත් බණ්ඩාරගම පොලිසිය සැකකාර ගුරුවරයා සතුව තිබූ ජංගම දුරකථනය ද අත්අඩංගුවට ගත්තේය. එහි අසභ්‍ය දර්ශන තිබේද? මෙම අපචාරය සඳහා එය යොදාගත්තේ ද යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා එය යොමුකරන බව පොලිසිය පවසයි.   
සැකකරු හොරණ මහේස්ත්‍රාත් නලීන් ඉඹුල්ගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබිණ.   


බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.එල්. වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්දන ජයවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුෂා හේමමාලි, පොලිස් සැරයන් (27061) අනුර, කාන්තා පොලිස් සැරයන් (3009) ජානකී යන නිලධාරීහු පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

 

 

 

මුදිතා දයානන්ද සමග 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ