තවත් මරාලයක් තෙල් මිලත් වැඩි වෙයි


 

ඉන්ධන මිල යළිත් වැඩි විය. දිනෙන් දින ඛනිජ තෙල් සංස්ථාවට සිදු​ෙවන පාඩුව හේතුවෙන් මෙම ඉන්ධන මිල ඉහළ දැමිය යුතු යයි සංස්ථාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවරගත් බව ආණ්ඩුව කියයි.  

 

 

නව මිල ගණන් අනුව මෙතෙක් රුපියල් 117කට අලෙවි කළ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137කි. සුපිරි පෙට්‍රල් හෙවත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි කෙරුණේ රුපියල් 128කි. එහි නව මිල රුපියල් 148ක් වෙයි. ඩීසල් ලීටරයක් රුපියල් 95 කට අලෙවි කළ අතර දැන් එය රුපියල් 109කට ​අලෙවි කෙරේ. මෙම මිල ගණන් ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල පමණි. අයිඕසී හෙවත් ඉන්දීය තෙල් සමාගම සතු ඉන්ධන පිරවුම් හල්වල මිල මීට වඩා ඉහළ මට්ටමක පවතියි. 

 
ඉන්ධන මිල ඉහළ දැමිය යුතු යැයි පසුගිය දින කිහිපය පුරාම අවධානය යොමු කළත් එය යම් යම් හේතුන් මත කල් ගියේය. අයි.ඕ.සී. සමාගම තෙල් මිල පසුගියදා ඉහළ දැමූ අතර එතෙක් ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම් හල්වල ඉන්ධන මිල ඉහළ දැමීමට රජය අවසර නුදුන් නිසා එම මිල ගණන් යටතේම මෙතෙක් ඉන්ධන මිල පැවතුණි. මේ නිසා රජයට මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල පාඩුවක් දැරීමට සිදුවිය. දිනෙන් දින ලබන පාඩුව නිසා ඉන්ධන මිල ඉහළ දමන ලෙස සංස්ථාව කළ ඉල්ලීම අනුව රජය පසුගියදා සිට ඉන්ධන මිල ඉහළ දැමීමට අවසරය ලබාදුණි. 


ඉන්ධන මිල සම්බන්ධයෙන් ගැටලුවක් පවතින නිසා මිල සූත්‍රයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයත් දිගින් දිගටම පෙන්වා දුන්නේය. ඉන්ධන මිල වැඩි නොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයට ලක්වී ඇති අතර මේ පිළිබඳ දීර්ඝ ලෙස ආණ්ඩුව තුළ සාකච්ඡා ඇතිවිය. ඉන්දීය තෙල් සමාගම ඩීසල් සහ පෙට්‍රල් මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් සංස්ථාව දිනකට ලැබූ පාඩුව රුපියල් මිලියන 38කි.  


2007 පසු ලෝක වෙළෙඳ පොළේ වැඩිම තෙල් මිල වාර්තා වන්නේ මේ වසරේ සිටයි. ඊට බලපෑ ප්‍රධාන හේතුව වී ඇත්තේ අැමරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වයයි. වසර කිහිපයක් පුරා එම රටවල් දෙක අතර පැවැති අර්බුදය මේ වනවිට වඩාත් උග්‍ර අතට පත්ව ඇති නිසා මෙසේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගියේය.  


මෙතෙක් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගියද මෙරට තෙල් සහනාධාරය නිසා ජනතාවට අඩු මිලට ඉන්ධන ලබාදීමට රජය කටයුතු කළේය. ආණ්ඩුව බලා සිටියේ අැමරිකාව සහ ඉරානය අතර ගැටලුව කඩිනමින් විසඳෙනු ඇති බවයි. එසේ වූයේ නම් ඉරානයෙන් තෙල් ලබා ගැනීමට අපට හැකියාවක් තිබුණි.  


2015 ජනවාරි 22 න් පසු තෙල් මිලේ අඩුවීමක් දක්නට නොලැබුණු අතර එය වැඩිවීම බව සඳහන් වෙයි. එහෙත් පසුගිය රජයට වඩා මිලියන 13000ක සහනාධාර ලබාදීම මේ රජය විසින් වැඩිකර තිබේ. රුපියල් 10,000කින් වැටුප් වැඩිවීම, 2006 පසු විශ්‍රාම වැටුප් වැඩිවීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, පාසල් දරුවන්ට ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් ලබාදීම ඖෂධ මිල පහත දැමීම වැනි කාරණා සඳහා අවශ්‍ය සියලු මිල සොයා ගැනුණේ බදු මුදල්වලිනි.  


පසුගිය රජය සමයේ පෙට්‍රල් ලීටරයක මිල පැවතුණේ රුපියල් 150ක මිලකටයි. වත්මන් රජය එය රුපියල් 117 දක්වා අඩුකොට මෙතෙක් කාලයක් පවත්වාගෙන ආවේය. විනිමය අනුපාතය අනුව තෙල් මිල අඩු කිරීම සම්පූර්ණ අසත්‍යයක් බව මේ සම්බන්ධව විමසීමකදී ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ප්‍රධානියකුවූද පාලිත ආනන්ද මහතා පැවැසීය.  


මේ සම්බන්ධව කරුණු පැහැදිලි කළ පාලිත ආනන්ද මහතා:-  
ලෝකයේ ඕනෑම රටක ඉන්ධන සඳහා බදු අය කර ගන්නවා. 2015 වසරේ නව රජය භාරගන්නා විට තෙල් සංස්ථාව බිලියන 460ක මුදලක් බැංකුවලට ණයයි. අද වනවිට විදුලි බල මණ්ඩලය බිලියන 63ක් තෙල් සංස්ථාවට ණයයි. විදුලි බල සමාගම් බිලියන 16 ක මුදලක්ද එයාර් ලංකා සමාගම බිලියන 12ක මුදලක් තෙල් සංස්ථාවට ණයයි. පසුගිය රජයේ සහනාධාර ලෙස ලබාදුන් බිලියන 350ක් සංස්ථාවට ලබාදෙන්න ඕනෑ. මෙන්න මේ අර්බුදයත් එක්ක තමයි ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමුවේ. එ්ත් මිල වැඩි කළ යුතුව තිබුණේ මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟයි. නමුත් සංස්ථාව ආර්ථික පාඩු විඳගෙන සහනාධාර ලබාදීම නිසා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. ඒත් මේ තෙල් මිල ඉහළ දැමීම ජනතාව මතට බරක් පැටවුවා කියලා කියන්න බැහැ.  


පසුගිය රජය සමයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලය ඩොලර් 45ට තිබෙනකොට, ඩොලර් එක රුපියල් 132කට අලෙවි කෙරෙන කොට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150යි. ඒත් මේ වනවිට තෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙන අවස්ථාවකත්, ඩොලරයේ මිල ඉහළ ගොස් තිබෙන විටත් වත්මන් රජය විසින් පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 117 කටයි. ඒ මහතා කියයි.  


2012 වසරේ 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි වුණේ රුපියල් 149ය. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 167කි. භූමිතෙල් ලීටරයක මිල 106යි. ඩීසල් ලීටරයක මිල රුපියල් 115යි. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 142කට අලෙවි කෙරිණ, 2012 දෙසැම්බර් වනවිට නැවත ඉන්ධන මිල ඉහළ ගියේය. පෙට්‍රල් ලීටරයක් රුපියල් 159ක් දක්වා ඉහළ ගියේය.  


2013 පෙබරවාරි 23 වනදා වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් දක්වා ඉහළ ගොස් තිබේ. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 195 දක්වාද ඩීසල් රුපියල් 121 දක්වාද ඉහළ ගියේය. සුපිරි ඩීසල් රුපියල් 145ක් වැනි මිලකට අලෙවි කෙරිණ.  


2014 සැප්තැම්බර් වන විට නැවත මිල අඩුවීමක් දක්නට ලැබුණි. 92 වර්ගයේ පෙට්‍රල් ලීරයක් රුපියල් 157 දක්වාත් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 165, භූමිතෙල් රුපියල් 86 දක්වාද ඔටෝ ඩීසල් 118 දක්වාද අඩුවිය. 2014 දෙසැම්බර් 06 වනදා වනවිට රුපියල් 157 කට අලෙවි කළ 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 150 දක්වාද 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 158, භූමිතෙල් 81 දක්වාද අඩුවිය. ඩීසල් රුපියල් 111 දක්වා අඩුවිය.  


වෙළෙඳ පොළේ පසුගියදා ඉන්ධන මිල වැඩිවීමට පෙර ඉන්ධන මිල පැවැතියේ මෙලෙසිනි. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 117යි. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 128කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 45යි. ඩීසල් ලීටරයක් 95යි. සුපිරි ඩීසල් 110කි.   
නව මිල ගණන් අනුව:- 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137කි. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 148කි. ඔක්ටේන් ඩීසල් ලීටරයක් රුපියල් 109කි. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 119කි. භූමිතෙල් ලීටරයක් 101කි.  


ඒ අනුව 92 වර්ගයේ සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 14කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 57කින්ද ඉහළ ගොස් ඇත. ඒත් සමෘද්ධි සහ ධීවර කර්මාන්තයේ නිරත වන්නන් සඳහා පෙර පරිදිම ඉන්ධන සහනාධාරය ලබාදෙන බව රජය පවසයි.  


සමෘද්ධි සහ ධීවර කර්මාන්තයේ නිරත වන අයට සහනාධාරය හැර යන්නෙන් හැඟෙන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතු බව ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.  


“මේ මිල වැඩිවනවා භූමිතෙල් මිල පාලනය කළේ නැතිනම් නිවැරැදිව. එ් නිසා සමෘද්ධි ලාභීන්ට රුපියල් 101ක් වන භූමිතෙල් ලබා දෙන්නේ කෙසේද යන්න කියන එක තීරණය කළ යුතුයි.  


ඒ අනුව කූපනයක් ලබා දෙන්නේද? නිවැරැදි ක්‍රමය නම් සමුපකාරයෙන් භූමිතෙල් නිකුත් කිරීම, ධීවර සමිතිවලින් කූපනයක් ලබාදීමෙන් සිදුකළ යුතුයි. එසේ කළහොත් මේ ක්‍රමවේදය සාර්ථක වනවා. මාසයකට ඒ අනුව නියමිත ප්‍රමාණය සීමා කළ හැකියි. ඒ අනුව ඉදිරියේදී ඩීසල් සහ භූමිතෙල්වල මිල වැඩිවීම නවතා ගත හැකියි.   


තෙල් සංස්ථාව පැත්තෙන් ගතහොත් තවමත් නෞකාවලට ඉන්ධන සැපයුමක් සිදු කරන්නේ නැහැ. පසුගිය රජයේ සිට එය සිදු කළේ නැහැ. එහෙත් ඉන්දීය තෙල් සමාගම 2003 සිට නෞකාවලට ඉන්ධන සපයනවා. ඔවුන් ඒ තුළින් බිලියන ගණනක ලාභයක් ලබනවා.  
එක්සත් ජාතික පක්ෂය තමයි නෞකාවලට ඉන්ධන ලබාදීමට සැලසුම් කළේ. 2003 වසරේ සිට නෞකාවලට ඉන්ධන සැපයීම සඳහා බලපත්‍රයකුත් තිබෙනවා. නමුත් 2005 මහින්ද රාජපක්ෂ මහතාගේ රජය බලයට පත්වීමෙන් පසු අද වෙන තුරු නෞකාවලට ඉන්ධන ලබාදීම සිදු කරන්නේ නැහැ.   


මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තමයි ලිහිසි තෙල් පාවිච්චි කිරීම ආරම්භ කළේ‍ ලංකාවේ. ලිහිසි තෙල්වලින් ඉන්ධන ලබා දෙනවාට වඩා 30%ක ලාභයක් ලබනවා. ඊළඟට වැඩි ලාභයක් තිබුණේ කෘෂි රසායන ද්‍රව්‍යවලින්. ඒකත් තෙල් සංස්ථාවට ලබාදුන්නා.   
එක්සත් ජාතික පක්ෂ රජය විසින්. ඊළඟට නෞකාවලට ඉන්ධන සැපයීමත් ලබා දුන්නේ ඒ රජය විසින්. මේ කාරණා 3 මඟින් 30%ක පමණ ලාභයක් ලැබුවා. ඊළඟට තාර නිෂ්පාදනය. අද තාර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. එයිනුත් තෙල් සංස්ථාවට පාඩු සිද්ධ වෙනවා.   


මේ ක්‍රම 3 නිවැරැදි ලෙස තෙල් සංස්ථාව ක්‍රියාත්මක කළේ නම් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ ගියද එය පාලනයකොට ඉන්ධන මිල සාමාන්‍ය මිලකට ලබාදීමේ හැකියාවක් තෙල් සංස්ථාවට ලාභයක් ලැබෙනවා. ඉන්ධන මිල වැඩි උනත් අනිකුත් සඳහන් කළ දේවල්වලින් ලැබෙන ලාභයෙන් එය පාලනය කර ගත හැකියි.  


කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාමෙන් අනිකුත් භාණ්ඩ හා සේවාවල මිලද ඉහළ යාමේ අවදානමක් පවතිනු ඇත. 

සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර