තවත් ඇමැති 10ක්


(අජන්ත කුමාර අගලකඩ) 

තවත් කැබිනට් නොවන ඇමැති රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 10 දෙනකු පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ළඟදීම දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළත්ව 30 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය මීට සති හතරකට පමණ ඉහත දී දිවුරුම් දුන් අතර දැනට දිවුරුම් දී ඇති කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 30කි. 


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව තනි පක්ෂයක ආණ්ඩුවක සිටිය හැකි කැබිනට් ඇමැතිවරුන් ගණන 30ක් වන අතර කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 40ක් වේ. 


ඉන් කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 30 දෙනකු මේ වන විට පත්ව සිටින අතර තවත් පත්කිරීමට ඉතිරිව ඇති කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 10කි. මේ අතර පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නම ද කැබිනට් නොවන ඇමැතිවරයකු ලෙස පත්කිරීම සඳහා ඉකුත් දා කැබිනට් නොවන ඇමැතිවරුන් පිරිසක් දිවුරුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා වෙත යෝජනා කර යවා ඇතත් ජනාධිපතිවරයා රංගේ බණ්ඩාර මහතා පත්කර නොමැති බව වාර්තා විය.