තව සති දෙකක් යනතුරු බස්නාහිර පොදු ප්‍රවාහනය සාමාන්‍ය ජනයාට නෑ


දුම්රිය - බස්රිය සේවා 
කලින් නම්දී වෙන්කළ කාර්යාල සේවකයන්ට පමණයි

(දයාසීලි ලියනගේ)  

11 වැනි සඳුදා සිට සති දෙකක කාලයක් බස්නාහිර පළාතේ ධාවනයවෙන බස් රථවල හා දුම්රියේ ගමන් කළ හැකි වෙන්නේ රජයේ හා පෞද්ගලික අංශවල අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ගනු ලබන අයට පමණි.  

රජයේ හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවා තබන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති, වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණක් දුම්රියෙන් සේවයට පැමිණීමට අවස්ථාව සලසා ඇති බව ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.  


ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින් සේවයට වාර්තා කිරීමට පැමිණිය හැක්කේ ඒ ඒ ඩිපෝවලට නම් ලබාදී අනුමැතිය ලබාගත් අයට පමණි.  


විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයන් සේවයට වාර්තා කළ යුත්තේ පෙ.ව. 10.00ට වන අතර ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීමට මෙම පියවර ගනු ලැබූ බව ද ඔහු කීය.  


පළමු සතියේ ජනතාව ගමනා ගමන කටයුතුවල යෙදෙන ආකාරය සමාලෝචනය කරනු ලබන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවාහන ඇමැතිවරයාට දන්වා ඇත.  


බස් රථය හෝ දුම්රිය අතරමගදී නතර කිරීමක් සිදුනොවන අතර සියළුම මගීන් සඳහා දුරස්ථ භාවය, මුඛ ආවරණය අනිවාර්ය වී ඇත. මගීන් ගමන් ගන්නා සියලු බස් රථ හා දුම්රිය මැදිරි විෂබීජහරණය කිරීමට ද සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා කීය.