තමිල්නාඩුවේදී ඇල්ලූ පාතාල නායකයා කවුද?


බ්ලූමැන්ඩල් වෙඩි තැබීම සිදුවූ ස්ථානය  

 

ලංකාවේ නම ගිය පාතාලයන්ගෙන් කීප දෙනෙක් බන්ධනාගාර ගතව දඬුවම් ලබමින් සිටියත් වැඩි පිරිසක් සිටින්නේ විදේශගතවය. විදේශගතව ජීවත් වෙන මෙවැනි පාතාලයන්ගෙන් ඇතැමෙකුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති අතර ඇතැමෙකුට නිල් නිවේදන නිකුත් කර තිබේ. කිසියම් රටකින් අත්අඩංගුවට ගන්නා සැකකරුවකු අපේ රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ අපේ රජය අදාළ රටත් සමග උදර්පන ගිවිසුම්වලට එළැඹ එය අපේ රටේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබෙන්නේ නම් පමණි. ඩුබායි රාජ්‍යය සමගද ජී.එල්. පීරිස් මහතා විදේශ ඇමැතිව සිටි කාලයේ ගිවිසුමට අත්සන් කර ඇති නමුත් වසර පහළොවක් පමණ ගතවනතුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. අප ඉන්දියාව, පාකිස්ථානය, යුක්රේනය, මැලේසියාව, වියට්නාමය වැනි රටවල් කීපයක් සමග උදර්පන ගිවිසුමට එළැඹ තිබේ.   


 පාතාල නායකයෙකු වූ සමයං ඇතුලු හත් දෙනෙක් ඝාතනය කිරීම ඇතුලු අපරාධ රැසකට අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍ය පාතාල නායකයෙකු වූ අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයෙකු වූ ලඩියා ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වෙන්නේ 2017 මැයි මාසයේදීය. එහෙත් ඔහු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ලිපි ලේඛන සකස් කර ගැනීමට මාස කීපයක් ගත වෙනතුරුත් සමත් නොවීය (සමත් නොවීමට වඩා එය නොසලකා හැරීමක් සේ දැක්විය හැකිය). ඒ නිසා ඔහු නිදහස් කර රටින් පිටුවහල් කරන තෙක් උඩබලාගෙන සිටි අපේ වගකිව යුත්තෝ නැවතත් අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගැනීමට නියමිත ලැයිස්තුවට එකතුකර ඔහු කොහෙන් හෝ මතුවන තෙක් බලා සිටී. ඩුබායිහිදී ඔහුවද අත්අඩංගුවට ගෙන ඇතැයි වැරදි ප්‍රචාරයක්ද ලබාදුන්නේය.   


 දැන් මෙරට අපරාධවලට වගකිව යුතු තවත් පාතාලයෙක් හා ඔහුගේ ගෝලයෙක් ඉන්දියාවේ තමිල්නාඩුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. රටම දන්නා පරිදි හඳුන්වන්නේ නම් ඔහු බ්ලූමැන්ඩල් සංඛය. උප්පැන්නයේ සඳහන් පරිදි පවසන්නේ නම් ඔහු රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්තය. එසේම ඔහු තවත් නමකින්ද ඇතැම් ලිපිලේඛන සකසා ඇති බවද පොලිසිය පවසයි. ඒ රණසිංහ ආරච්චිගේ ලලිත් ප්‍රසන්න ලෙසය. ඔහු සමග අත්අඩංගුවට පත් අනෙක් පාතාල සාමාජිකයා මොහොමඞ් සෆ්රාස්ය. ඔහු 2018 දෙසැම්බර් 31 වැනිදා අලුයම සංඛ සමග ග්‍රෑන්ඩ්පාස්හිදී දිනේෂ් එරංද නොහොත් කළුබෝලේ ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ අයෙකි.   


 පස්දෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලේ සහෝදරයින් දෙදෙනෙක් හා සහෝදරියන් දෙදෙනෙක් සිටී. නම් තුනක් වගේම සංඛට ලිපිනද තුනකි. සිරිසඳ නිවාස සංකීර්ණය, කොළඹ 14. ෆර්ගියුසන් පාර, කොළඹ 14 හා 26 වැනි පටුමග, මුතුරාජවෙල, කඳාන ඒ ලිපින තුනය. විවාහකයෙකු වන ඔහුට දරුවන් තිදෙනෙක් සිටී.   


 බ්ලූමැන්ඩල් සංඛගේ නමත් සමග ඈඳුණ අනෙක් නම වන්නේ ආමි සම්පත්ය. ආම් සම්පත් හා සංඛ යන දෙදෙනාම වනාතේ ඕල්කට්ගේ ගෝලයින් බව පැවසේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමකදී කුරුණෑගලදී ඕල්කට් වෙඩි වැදී මිය ගිය පසු ඔහුගේ තැන ගත්තේ සංඛය. එහිදී ඔහුට කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ලාල් පීරිස්ගේ ද උපදෙස් හා මගපෙන්වීම ලැබි ඇති බවට තොරතුරු පොලිසිය සතුව ඇත.   


 ලාල් පීරිස් 2006දී කොළඹ නගර සභාවට පිවිසියේ ස්වාධීන කණ්ඩායමකිනි. එයට සහය දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ ඔවුන්ගේ ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම නිසාය.

නගරසභාව ජයග්‍රහණය කළේද ඇස් කණ්ණාඩියෙන් ජයගත් මේ ස්වාධීන කණ්ඩායමය. මන්ත්‍රී වීමට පෙර ලාල් පීරිස්ට මුළු රටටම සාම විනිසුරු තනතුරක් ලබාදීමට කටයුතු කර තිබුණේ කැලණිය ප්‍රදේශයේ සිටි ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරයෙකි. එහෙත් ලාල් පීරිස් නම සමග කුඩු ගනුදෙනු ඈඳුණ පසු අධිකරණ අමාත්‍යවරයා ඔහුගේ නම සාමවිනිසුරු ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. ඒ නිසා ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබිණ. එජාපයද ඒ කුණු ගොඩ කෙළින්ම තමන්ට දාගත්තේ නැත. ඒ වෙනුවට තමන්ගේ ස්වාධීන කණ්ඩායමට ඔහුගේ නම ඇතුළත් කරනු ලැබිණ. ඔහු නාගරික මන්ත්‍රීවර​යෙක් වූයේ එලෙසිනි.   


 ඒ අනුව ලාල් පීරිස්ට එජාපයේ සහය ලැබුණු අතර ඒ සහයද ඕල්කට් හට ලැබුණ දේශපාලන රැකවරණයද දෙකම සංඛටද ලැබිණ. ඒ දෙකම එකම දේශපාලන පක්ෂයකිනි. එනම් එජාපයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයෙකු සංඛගේ රැකවලා විය. ඒ කුඩු ලාල්ගේ මැදිහත්වීම මතය.   


 2015දී මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට එල්ලවූ වෙඩි ප්‍රහාරය සමග යළිත් සංඛගේ නම කරළියට පැමිණියේය. ඒ වෙඩි ප්‍රහාරයේ වගකිව යුත්තා ඔහු වූ නිසා නොව ඔහුද ආමි සම්පත්ද එම මැතිරවණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වී තිබූ නිසාය. ඔහු එයට සම්බන්ධ කර තිබුණේ කුඩු ලාල් විසිනි. තවත් පිරිසක් එකතු කරගෙන වැඩේ හොඳට කරන්නැයි ඔහු සංඛට පවසා තිබිණ. ප්‍රහාරය එල්ල වෙන්නේ දෙමටගොඩ චමින්දගේ ගෝලයන්ගෙනි.   


 දෙමටගොඩ චමින්ද හා බ්ලූමැන්ඩල් සංඛ අතර පවතින්නේ ජන්මාන්තර වෛරයකි. ඒ වෛරයට පදනම වූයේ කුඩු ව්‍යාපාරයය. චමින්ද වැඩ කළේ කොලොන්නාව ප්‍රදේශයේ එවකට සිටි ප්‍රබල දේශපාලනඥයෙකු වෙනුවෙනි. චමින්දගේ කුඩු ව්‍යාපාරයට මේ දේශපාලනඥයාගේ රැකවරණය ලැබිණ. ඒ නිසා එකල වඩාත් ප්‍රබල තැනක සිටියේ චමින්දය. එහෙත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් චමින්ද අත්අඩංගුවට පත්වීමත් සමග සංඛ තමන්ගේ කුඩු ජාවාරම ව්‍යාප්ත කරගත්තේ චමින්දගේ ගෝලයන්ටද පහර දෙමිනි.   


 චමින්ද 2012දී ඇප ලබා එළියට පැමිණි පසු දෙමටගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමට සංඛ සැලසුම් කළ අතර එය චමින්දගේ සහෝදරයාට ආරංචි වීම නිසා ඔවුන් වහා ක්‍රියාත්මක වී සංඛලා පැමිණි වාහනයට වෙඩි තබනු ලැබිණ. එහිදී ආම් සම්පත්, මාකිංලගමුවේ සංජීව හා බ්ලූමැන්ඩල් සංඛ පලාගොස් සැඟවී දිවි බේරාගත්හ. එහිදී දිවි බේරාගත් සංඛ, චමින්දගෙන් බේරීම සඳහා කලත් විදේශ ගතව සිටියේය. ඔහු ලංකාවට නැවත පැමිණියේ පෙර කී පරිදි කුඩු ලාල්ගේ ඉල්ලීම පරිදි මහ මැතිවරණයේදී ලාල් පැවසූ දේශපාලනඥයාට සහාය දීමටය. ලාල් කීවේ ඔහුට සියලු රැකවරණ ලබාදෙන බවය.   


 එහෙත් මැතිවරණ කටයුත්තට අතගැසුවා පමණි. ඔහුට යළිත් චමින්දගේ ප්‍රහාරයට ලක්වන්නට සිදුවිය. ඒ 2015 ජුලි 31 වැනිදාය. බ්ලූමැන්ඩල් සිට කොටහේන දෙසට ගමන් කරමින් තිබූ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් අතරතුරදීය. එහිදී වෙඩි වැදුණ කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් මිය ගිය අතර තවත එකොළොස් දෙනෙක් තුවාල ලැබූහ. එහෙත් සංඛලා දිවි බේරාගෙන පැන ගියහ.   


 එම සිදුවීමෙන් පසු චමින්ද යළි අත්අඩංගුවට පත්විය. ඉන්පසු යළි චමින්දව ඝාතනය කිරීමට සංඛ සැලසුම් සකස් කළේය. ඔහුව බන්ධනාගාරය තුළදී ඝාතනය කිරීමට ඉඩක් තිබුණේ නැත. ඒ නිසා අධිකරණයට රැගෙන විත් ආපසු ගෙන යන අතරතුර ඝාතනය කිරීමට සැලසුම් සකස් කෙරිණ. ඒ අනුව 2016 මාර්තු 02 වැනිදා මාළිගාවත්ත විදුලි සංඥා පුවරුවක් අසලදී චමින්ද රැගත් බස්රථය නැවැත්වූ අවස්ථාවේදී එහි කවුළුවක් අතරින් වෙඩි තබා චමින්ද ඝාතනය කිරීමට සැලසුම් කෙරිණ. එහෙත් ඔහු එයින්ද දිවි බේරාගත්තේය.   


 මේ සිදුවීම සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් සංඛ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියදී රිවෝල්වරයක් සමග සංඛ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර විය. ඉන්පසු ආමි සම්පත්ද අත්අඩංගුවට ගැනිණ. ඔවුන්ගෙන් ලැබුණ තොරතුරු අනුව ටී 56 හා මීලිමීටර් 09 වර්ගයේ ගිනිඅවි සහ ස්නයිෆර් අවියක්ද ඇතුළු ගිනි අවි දහයක් ජීව උණ්ඩ රැසක් මීගමුව හා ගම්පොළ අවි ගබඩා දෙකකින් සොයා ගැනීමට පොලිසිය සමත් විය.   


 ඉන්පසු ඇප ලබා පැමිණි සංඛ යළිත් විදේශ ගතවන බව පවසමින් දුරබැහැර ප්‍රදේශයක සැඟවිණ. එහෙත් ඔහුගේ කුඩු ජාවාරම දිගටම පවත්වාගෙන ගියේය. එසේ සිටින අතරතුර ඔහුගේ මාමා කෙනෙකු වූ විජේරත්න නමැති අයට ග්‍රෑන්ඩ්පාස්හි කළුබෝලේ නොහොත් දිනේෂ් එරංද හා ඔහුගේ සහෝදරයා රුවන් ඇතුළු පිරිසක් පහර එල්ල කරන්නේ සංඛව බිය ගන්වා තමන්ගේ බලය ප්‍රදේශයේ තහවුරු කරගන්නට මෙනි. එහිදී විජේරත්නගේ ඔළුව පැලිණ. සංඛට මේ ආරංචිය ලැබුණ සැණින් කණ්ඩායමක් සමග පැමිණ පළමුව රුවන්ට පහර දුන්නේය. රුවන් පොලිසියට ගොස් පැමිණිල්ල කර පැමිණෙන්නටත් පෙර සංඛ ග්‍රෑන්ඩ්පාස් නිවාස සංකීර්ණය අසලදී කළුබෝලේ ඝාතනය කළේය. එහිදී තවත් තිදෙනෙකුටද වෙඩි වැදී තුවාල විය.   


 මෙම සිදුවීමෙන් පසු ඔහු රටින් පලාගියේ තලෙයිමන්නාරමෙන් ධීවර බෝට්ටුවක නැගීය. ඔහු පලාගියේ තමිල්නාඩුවටය. තමිල්නාඩුවේ දන්ඩිකල්හිදී අත්අඩංගුවට පත්වන තුරු සංඛ සිටියේ තමිල්නාඩුවේය.   


 දැන් සංඛව ලංකාවට ගෙන එන්නට ලංකා රජයට හැකිවේද යන්න පිළිබඳව බොහෝ දෙනා තුළ සැක සංකා මතුව තිබේ. ඒ අංගොඩ ලොක්කා හා ලඩියා ගෙන්වා ගැනීමට බැරි වූ රජයට සංඛව ගෙන එන්නට කොයිතරම් උනන්දුවක් ඇති වේද යන ප්‍රශ්නය ඔවුන් තුළ ඇතිවීම නිසාය. 

මුදිතා දයානන්ද