ඩොලර් 16ට පිටරටට වික්ක මාළු කිලෝව ඩොලර් 6ට බසී


මාළු  අපනයනයට බලපෑමක්   

 

(සජීව විජේවීර) 

ලෝකය පුරා කොරෝනා පැතිරීමේ අවද‌ානමත් සමග එය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීම හේතුවෙන් මෙරට ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි. 

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට මත්ස්‍යයන් වැඩිපුර අපනයනය කරනු ලබන යුරෝපීය රටවල් අතරින් ඉතාලිය ප්‍රමුඛ වන බවයි. ලෝකය පුරාම අමු මාළු ලබාගන්න චීන හා ජපන් අලෙවි සැල් කොරෝනා හේතුවෙන් වැසී යාමේ තත්ත්වයක් උද‌ා වී ඇති බැවින් මාළු තොග අපනයනය කිරීම විශාල වශයෙන් අඩුවෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි. 
මාළු ඉල්ලුම අඩුවීම හේතුවෙන් පසුගිය මාසයේ ඇමෙරිකන් ඩොලර් 16 කට අපනයනය කළ මාළු කිලෝ ග්‍රෑමයක් බ්‍රහස්පතින්ද‌ා වන විට අපනයනය කිරීමට සිදුව තිබුණේ ඇමෙරිකන් ඩොලර් 06ක් වැනි අඩු මුදලකට බව ද හෙතෙම පෙන්වා දෙයි. 


 ‘යුරෝපයේ රටවල් විශාල ප්‍රමාණයක් දැන් අමු මාළු මිල දී ගැනීම නවත්වා තිබෙනවා. කොරෝනා බෝකරන වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝවුණා යැයි කීම එයට එක් හේතුවක් වෙලා. දැන් චීන අවන්හල් සහ ජපන් අවන්හල් ලෝකය පුරාම වැසී යන තත්ත්වයක් තියෙන්නේ. ඒවා මාළු මිල දී ගැනීම නතර වෙලා. මේ විදියට තව මාස ගණනක් පැවතුණොත් මෙරට ධීවර කර්මාන්තයටත් අපනයන ආර්ථිකයටත් කොරෝනා වෛරසය විශාල බලපෑමක් වේවි.’ හෙතෙම වැඩිදුරටත් කීවේය.