ටියුෂන් රැස්වීම් තහනම්


සැණකෙළි-සංගීත-වෙරළ සාද-කැසිනෝ

නයිට් ක්ලබ් තහනම්-සරසවි අරින්න බෑ

(රංජන් කස්තුරි)

කොරෝනා වයිරසය තදින් පැතිර යාමේ දැඩි අවදානමක් යළිත් හට ගෙන ඇති හෙයින් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් සාමාන්‍ය ජනජීවිතය  ගත කළ යුතු ආකාරය සඳහන් විශේෂ උපදෙස් මාලාවක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඉකුත් සිකුරාදා (23) නිකුත් කළේය.

එම උපදෙස් ඊයේ (24) සිට මැයි මස 31 වැනි දින දක්වා වලංගු වන බවද ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.


එම උපදෙස්වලට අනුව විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන – උපකාරක පංති පැවැත්වීම තහනම් කර තිබේ.


මීට අමතරව ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, සම්මන්ත්‍රණ,  මහජන රැස්වීම් ආදිය පැවැත්වීමට ද අවසර නැත.


මෙම  කාලය තුළ ළමා උද්‍යාන වසා තැබෙන අතර සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද පැවැත්වීම ද තහනම් වන බවද එම උපදෙස් මාලාවේ සඳහන් වේ.


පිහිනුම් තටාක වසා ඇති අතර කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා සහ ස්පා ආයතන වසා  තැබිය යුතු බවද එම උපදෙස් මාලාවේ දැක්වේ.


පාසල්, පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යා හැකි අතර ඒවායේ ධාරිතාව සියයට 50ක් විය යුතු බවද එහි සඳහන් වේ.


මංගල උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 150ක් වන අතර මංගල උත්සව ශාලාවේ ධාරිතාවෙන් සියයට 50ක ප්‍රමාණයක් සහභාගී කරගත යුතු බවද එම උපදෙස් මාලාවේ දැක්වේ.
අවමංගල්‍ය උත්සවයක් සඳහා උපරිම වශයෙන් සහභාගි කරවා ගත හැක්කේ 25 දෙනෙක් පමණක් බවද එම උපදෙස් මාලාවේ සඳහන් වේ.


අත්‍යවශ්‍ය සේවා සඳහා අවසර ලැබෙන අතර නිවසකින් පිටවිය හැක්කේ එක්වර පුද්ගලයන් දෙදෙනකුට පමණක් බවද බස් රථ, දුම්රිය හා කුලී රථවල ගමන් කළ හැකි මගී සංඛ්‍යාව එහි ආසන සංඛ්‍යාවට සමාන විය යුතු බවද එම උපදෙස් මාලාවේ දැක්වේ.


රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සේවකයින් ගෙන්වා ගැනීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් වන අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමේ විකල්පයක් ලබාදිය යුතු බවද එහි සඳහන් වේ.


සම්මන්ත්‍රණ, වැඩමුළු සහ රැස්වීම් ආදිය සඳහා සහභාගි කර ගත හැක්කේ උපරිම වශයෙන් පුද්ගලයන් 50ක් පමණක් වන අතර එය ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 50ක් විය යුතු බවද උපදෙස් මාලාවේ දැක්වේ.
ඇඟලුම් කර්මාන්තශාලා ආදියට බාහිර අමුත්තන්ට ඇතුළුවීම තහනම් කර ඇති අතර ඒවායේ සේවකයන් ආරක්ෂිතව ප්‍රවාහනය කළ යුතු බවද උපදෙස් මාලාවේ සඳහන් වේ.


සුපිරි වෙළෙඳසැල්වලට ධාරිතාවෙන් සියයට 50ක් පමණක් ඇතුළු කර ගත යුතු අතර පුද්ගලයන් අතර පරතරය මීටර් 1.5 ක පමණ වත් තබාගත යුතු යැයිද එහි දැක්වේ.


සාප්පු සංකීර්ණ, බැංකු හා මූල්‍ය ආයතන, බාබර් සාප්පු හා අනෙකුත් වෙළෙඳසල්වල ධාරිතාවෙන් සියයට 50ක පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් ඇතුළත් කර ගත යුතු බවද එම උපදෙස් මාලාවේ සඳහන් වේ.
මධ්‍යසාර අලෙවිසල් හා අවන්හල් පවත්වාගෙන යාමට අවසර තිබෙන අතර ඒවාට ඇතුළුකරගත යුත්තේ ධාරිතාවෙන් සියයට 25ක පමණ ප්‍රමාණයකැයි ද උපදෙස් මාලාවේ දැක්වේ.