ඥානසාර හිමි සිරගෙට යැවූ නඩු තීන්දුව


පසුගිය සතියේ පොදු ජනතාව අතර වඩාත් කතාබහට ලක් වූ චරිතය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යැයි කියහොත් වරදක් නැත. ඒ උන්වහන්සේ බරපතළ වැඩසහිත වසර හයක සිරදඬුවමක් නියම කිරීමෙනි. ඥානසාර හිමියන් වඩාත් කතා බහට ලක්වූයේ අද ඊයෙක නොවේ. පසුගිය කාලයේ රටේ සිදුවූ සිද්ධීන් ගණනාවකට මැදිහත් වීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව ප්‍රධාන පෙළේ අධිකරණ ගණනාවක නඩු ගොනු වී තිබේ.   


ඉන් ප්‍රධාන නඩු විභාගයක් වන්නේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු කටයුතු විභාගවෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයයි. වසරකට ආසන්න කාලයක් තිස්සේ අභියාචනාධිකරණය හමුවේ විභාග වූ එම නඩුවේ තීන්දුව ඉකුත් 08 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල විසිනි.   


අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ එම තීන්දුව අනුව ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ අතර ඒ වෙනුවෙන් වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර 6කින් ගෙවී යන පරිදි නියම කෙළේය. එසේම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව ඇති චෝදනා 4ටම වැරැදිකරු බවට තීරණය කළ අභියාචනාධිකරණය ඒ ඒ චෝදනාවට වෙන් වෙන්ව සිර දඬුවම් නියම කෙළේය.   


පිටු 56 කින් යුතු නඩු තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් කියවන ලදී   


ඒ අනුව පළමු වන චෝදනාවට වසර හතරක, දෙවන චෝදනාවට වසර හතරක, තෙවන චෝදනාවට වසර හයක, සිව් වන චෝදනාවට වසර පහක යනාදී ලෙස බරපතළ සිර දඬුවම් නියම කරන ලදී. එම සිර දඬුවම් එකවර ගෙවී යන ලෙසද නියම කරන ලදී. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි කලහකාරි ලෙස හැසිරීමෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර තිබේද යන්න පිළිබඳව විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගයන් කෙළේය.   


නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී උන්වහස්සේට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි විණි. ඒ හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් නිසා නිසා වේ. තීන්දුව ප්‍රකාශයට පත් කළ මොහොතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වහාම බන්ධනාගාර භාරයට ගන්නා ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙරිණ. මෙම නඩු තීන්දුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත යොමු කරන ලෙස අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම විය.   


තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණ ශාලාවේ සිටීදැයි සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටියේය. විත්තිකාර හිමියන් වකුගඩු ආශ්‍රිත රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදී. විත්තිකාර හිමියන් අධිකරණයෙහි පෙනී නොසිටීම නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට බාධාවක් නැති බව තීරණය කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නඩු තීන්දුව ප්‍රකාශ කිරීමටද තීන්දු කළේය.   


2016 ජනවාරි මස 25 දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධ අපහාස නඩු විභාගයට පැමිණිල්ල පාර්ශ්වය වෙනුවෙන් නීතිපතිවරයා විසින් සාක්කිකරුවන් 4 දෙනෙකු සහ විත්තිකාර පාර්ශ්වයෙන් විත්තිකාර හිමියන් සහ සාක්කිකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලදී.   


නිසි අවසරයකින් තොරව අධිකරණයේ කටයුතුවලට බාධා වන අයුරින් අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන් යන යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම විත්තිකාර හිමියන්ට එරෙහි පළමුවන චෝදනාව වේ.   


එම අවස්ථාවේදීම අධිකරණය විසින් දෙනු ලබන නියෝගය පිළිනොගන්නා බවට සහ රටේ පවතින නීතිය අනුගමනය නොකළ යුතු බව සහ නිත්‍යනුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පැවැසීම, අවමන් කිරීමෙන් වරදක් කිරීම දෙවැනි චෝදනාව වේ.   


එහිදී බී 7417/10 දරන නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට කිසිදු නිත්‍යනුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින් අණකර සිටීමෙන් අධිකරණ කටයුතුවලට බාධාකිරීමෙන් වරදක් කර තිබීම තෙවැනි චෝදනාව වේ.   


එම අවස්ථාවේදීම බී 7417/10 නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට පාරිභාවාත්මක වචනයෙන් ඇමැතීම මඟින් වරදක් කිරීම සිව්වන චෝදනාව වේ.   


මෙම චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිල්ලේ සාක්කිකරුවන්ගේ සාක්කිවලින් සමත් වී ඇති අතර විත්තිකාර පාර්ශ්වයෙන් සාක්කි දුන් හිමිවරුන් දෙදෙනා විත්තිකරුට එරෙහි චෝදනා අසත්‍ය බව පෙන්වීමට කරුණු සඟවා සාක්කි දී ඇතැයි නඩු තීන්දුවෙහි සඳහන් වේ. එසේ වුවද එම කරුණු විත්තිකාර ඥානසාර හිමියන් හරස් ප්‍රශ්නවලදී පිළිගෙන ඇතැයි නඩු තීන්දුවෙහි දැක්වේ.   


මෙම චෝදනා සියල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට අධිකරණය සෑහීමකට පත්වන බව නඩු තීන්දුවෙහි දැක්වේ. හෝමාගම අධිකරණයෙහි විභාග වූ නඩුවක විත්තිකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය නැවත වෙනස් කිරීමට බලපෑම් වන අයුරින් හිතාමතාම කටයුතු කර ඇතැයි නඩු තීන්දුවෙහි දැක්වේ.   


අධිකරණයේ නඩු විභාග වෙද්දී අධිකරණය ආමන්ත්‍රණය කළ හැක්කේ නීතිඥවරයකුට පමණක් බව දැන දැනම විත්තිකාර හිමියන් ශබ්ද නඟා කතා කිරීමට කටයුතු කර ඇති බව විත්තිකාර හිමියන්ගේ සාක්කිවලින්ම ඔප්පු කර ඇතැයි නඩු තීන්දුවෙහි සඳහන් වේ.   


පෙර නඩුවේ රජයේ පාර්ශ්වයෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයාට “නපුංසක නීතිඥවරයා ඉඳගනින්” ලෙස තර්ජනාත්මකව කතා කළ බවට වූ චෝදනාවද ඔප්පු කර ඇතැයි නඩු තීන්දුවෙහි සඳහන් වේ. ඒ අනුව සියලු චෝදනාවලට විත්තිකාර හිමියන් වරදකරු බවට තීරණය කළ බව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කෙළේය.   


මෙම තීන්දු ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර හිමිනම වකුගඩු ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයක් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් , අද හෝ හෙට ඒ හිමියන්ට ශල්‍යකර්මයකට මුහුණදීමට සිදුවන බවත්ය.


ප්‍රකාශයට පත් වූ තීන්දුවේ මෙසේද සඳහන් වේ.   


“විත්තිකාර හිමි නමට එරෙහිව චෝදනා 4 ක් ඉදිරිපත් කර තිබිණි. එම චෝදනාවන් මෙසේය. අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන්, යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන්, පරුෂ වචනයෙන් රජයේ නීතිඥවරයෙකුට අපහාස වන අන්දමින් කතා කිරීම සහ අධිකරණයේ බල අධිකාරිය අභියෝග කිරීම යන චෝදනා වෙති.   


“මෙම පැමිණිල්ල විභාගයේදී දෙපාර්ශ්වය විසින්ම සාක්ෂිකරුවන් ඉදිරිපත් කෙරිණි. කිරම දේවින්ද සහ පිටිගල ධම්මදින්න හිමිවරු මෙම විත්තිකාර හිමිනම වෙනුවෙන් සාක්කි දුන්හ. ඔවුන් සාක්කි දෙමින් කියා සිටියේ සුද්දා ගේ නීතිය පිළිගන්නේ නැති බව විත්තිකාර හිමිනම විසින් කී නමුත්, විත්තිකාර හිමිනම අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවය. එහෙත් එම හිමිවරුන් දෙදෙනා තොරතුරු වසන් කර ඇති බව අධිකරණයේ මතයයි. ඊට හේතු වන්නේ විත්තිකාර හිමියන් ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී සිද්ධිය තහවුරු වන අන්දමින් කරුණු ඒ විත්තිකාර හිමි නම විසින්ම දක්වා ඇති බවය.   

 


(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)  


එද‌ා මෙද‌ා තුර උපරිමාධිකරණ ඉතිහාසයේ භික්ෂුන්වහන්සේ නමකට එරෙහිව අධිකරණ අපහාස චෝදනා යටතේ දඬුවම් නියම කළ ප්‍රථම අවස්ථාව යැයි අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරි සනත් පින්නදූව මහතා ඉරිද‌‌ා ලංකාදීපයට පැවසීය.  


තමන් දන්නා පරිදි වෙනත් චෝදනා යටතේ භික්ෂුන් වහන්සේට සිර දඬුවම් නියම කර ඇතත්, මෑත කාලයේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මෙලෙස භික්ෂු නමකට බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ මුල්ම අවස්ථාව බව ද පින්නදූව මහතා වැඩිදුරටත් කියා සිටියේය.   


 


“විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා කියා සිටියේ විත්තිකාර හිමියන් අධිකරණයට අපහාස කර තිබුණත්, ඊට මෙහිදී දඬුවම් කළ නොහැකි බවය. එහෙත් අධිකරණ මතය වන්නේ විත්තිකාර පාර්ශ්වය අධිකරණ බලය පිළිබඳ කුමනාකාර මතයක් දැරුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.1 වගන්තිය යටතේ අධිකරණය අපහාසයට දඬුවම් නියම කිරීමට මෙම අධිකරණයට බලයක් ඇති බවය.   
“විත්තිකාර හිමිනම මහේස්ත්‍රාත්වරයා අමතා ඇත්තේ, මහේස්ත්‍රාත්වරයා නඩුවක නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය. විත්තිකාර හිමිනම ඉල්ලා ඇත්තේ අදාළ නියෝගය වෙනස් කර ඇප දෙන ලෙසය. ඒ අනුව විත්තිකාර හිමිනම නැගිට අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වී ඇති බව පැහැදිලිය.   


“අධිකරණයේ තීරණය වන්නේ විත්තිකාර හිමිනම අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වී අධිකරණ අපහාස චෝදනාවට වරදකරු කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවත්ය. ඊට අමතරව විත්තිකාර හිමිනමට එරෙහිව ඇති සියලු චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු වී ඇති බවය.   


“ඒ අනුව විත්තිකාර හිමිනමට එරෙහි ඇති සියලු චෝදනාවන්ට වරදරකරු කරන බවද අධිකරණ නියෝගයේ සඳහන් වේ. 

 
“ඒ අනුව අදාළ චෝදනා හතරට මෙසේ දඬුවම් නියම කරයි.   


1. පළමු චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 4 සිර දඬුවම් නියම කරයි.   
2. දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවම් නියම කරයි.   
3. තෙවැනි චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 6 ක සිර දඬුව්ම නියම කරයි.   
4. සිව් වැනි චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 5 ක සිර දඬුව්ම නියම කරයි.   


“මෙම දඬුවම් එක වර ගෙවී යන ලෙසට නියෝග කෙරුණු අධිකරණ තීන්දුවේ සඳහන් වේ.   


“ඒවගේම තීන්දුව ප්‍රකාශයට පත් කර පැය 48ක් ඇතුළත් එය විත්තිකාර පාර්ශ්වයට ලබා දෙන ලෙසද අභියාචනාධිකරණය නියෝග කෙරිණි.   


“දැනට විත්තිකාර හිමියන් රෝහල් ගතව සිටින බැවින් මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීමට බන්ධානාගාර භාරයට ගන්නා ලෙසට අභියාචනාධිකරණය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.   


හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත් දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයාට ලැබී ඇති බලතල අනුව මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමුකර තිබිණි.   


ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා විසින් කරුණු සලකා බලා 2016 ජනවාරි 25 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති නඩුවකදී අධිකරණයේ ගෞරවයට අභියෝග කිරීම අංක බී 74/7/10 දරන නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට කිසිදු අවසරයකින් තොරව ඉල්ලීම සහ එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට අපහාසාත්මක කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් නීතිපතිවරයා ඉදිරිපත් කළේය.   


අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන්, යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව 105 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීම ඇතුළු චෝදනා 4 ක් එහි සඳහන් වේ. එම නඩු විභාගය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් තිස්සේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්කි විභාගය අවසන් කරමින් එම නඩුවේ තීන්දුවට මෙලෙස ප්‍රකාශයට පත් කෙරිණි.   


මෙම චෝදනා පත්‍රය සහ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මීට පෙර ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පැමිණිල්ල පවත්වා ගෙන යාමේ හැකියාවක් නොමැති බවය. 

 
එම විරෝධතාවට එරෙහිව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට අපහාසාත්මක කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පවතින බවය. කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම චෝදනා පත්‍රය කියවා දීමෙන් අනතුරුව ඥානසාර හිමියන්ට භාරදෙන ලදී.   


දීර්ඝ සාක්ෂි විභාගයේදී පැමිණිල්ල ඉදිරිපත් කළ හෝමාගම හිටපු මහේස්ත්‍රාත් මෙන්ම කොළඹ වත්මන් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු පොලිසියේ සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් සාක්ෂි ලබා දී තිබුණි. විත්තිය වෙනුවෙන් වගඋත්තරකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ.   


මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවය. රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.   


විත්තිකාර හිමිනම වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියහ. 

 

 

 

 

සටහන   
තිළිණි ද සිල්වා සහ 
රංජන් කටුගම්පොළ