ජීවිතයක් බිලිගත් තෙල් සංස්ථාවේ යුද්ධය


 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති ධුරයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළැඹි තීරණය මේ වෙනවිට රටේ සෑම ක්ෂේත්‍රයකම අනපේක්ෂිත අර්බුද මැවීමට හේතු වී ඇත. මැතිවරණ කාලසීමාවක් හෝ මෙවැනි දේශපාලන අර්බුද සමයක පොදුජනයා අතර මත ගැටුම් ඉස්මතු වීම නොවැලැක්විය හැකි තත්ත්වයකි. මිනිස් ජීවිත බිළිගන්නා මට්ටමට එම ගැටුම් උත්සන්න වීම දේශපාලනික වශයෙන් මෙරට තුළ පවතින අවසංවර්ධිතභාවය ප්‍රකාශ කරන්නක් යැයි අපට හැඟේ.  


ඉකුත් විසි හයවැනිදා නව අගමැතිවරයා පත්වීමෙන් පසුව, දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථානයට පැමිණි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ සංස්ථා සේවකයෝ ගැටුමක් ඇති කර ගත්හ. හිටපු අමාත්‍යවරයාගේ පැමිණීම සමඟ ඇති වූ සේවක විරෝධය හමුවේ ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක් සිදුකළැයැයි කියන වෙඩි තැබීමකින් ඛනිජ තෙල් සංස්ථා සේවකයෙක් මිය ගියේය. තවත් සේවකයන් දෙදෙනෙක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීම ද සිදුවිය. මියගිය රංගන රාජපක්ෂ නමැති තිස්හය හැවිරිදි තෙල් සංස්ථා සේවකයා එක්දරු පියෙකි. ඔහු උඩුනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද සඳහන්ය. වෙඩි වැදී තුවාල වූ නාලක රුක්මල් නමැත්තා සහ අනෙක් නම් සඳහන් නොවන පුද්ගලයා ද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. සිදුවීම අවස්ථාවේ ඊට මැදිහත් වූ කොළඹ දිස්ත්‍රික් නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියන මහතාට ද තුවාල සිදු වූ බව ඒ මහතා ද මාධ්‍ය වෙත අනාවරණය කළේය. වෙඩිතැබීම සිදුකළා යැයි කියන ඇමැති ආරක්ෂක අංශ කොස්තාපල්වරයා දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
 දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා ​ගොඩනැගිල්ලට අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැමිණීම සමඟ ඇති වූ මෙම ගැටුම නිසා සේවකයෙක් මිය යෑම පදනම් කරගෙන තෙල් සංස්ථා සේවකයෝ වැඩවර්ජනයක් ආරම්භ කළහ. ඒ අනුව අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නාතුරු සේවයෙන් ඉවත්ව සිටින බව සේවකයෝ තරයේ ප්‍රකාශ කළහ. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කළ විමර්ශනවලට අනුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් අතර ලක්ෂ පහක ශරීර ඇප මත ඔහු මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග ලබා දුන්නේය. මියගිය තෙල් සංස්ථා සේවක රංග රාජපක්ෂ මහතාගේ ආදාහන කටයුතු ද දැන් සිදුවී අවසන්ය. සියල්ල එතැකින් අවසන් නොවේ. අගතියට පත් පාර්ශ්වයට යුක්තිය සාධාරණය ඉටුවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම අප සැමට පැවරේ.  


ඛනිජ තෙල් සංස්ථා සේවක ගැටලුව සම්බන්ධයෙන් ඊට මැදිහත් වූ පාර්ශ්ව දැක්වූ අදහස් මෙසේ සටහන් තබන්නෙමු.  


ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දැක්වූ අදහස් මෙසේය.  


‘‘එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති සම්මන්ත්‍රණයකට සහභාගිවීමට ගොස් මා නැවත පැමිණියේ ඉකුත් ඔක්තෝබර් විසි අටවැනිදා උදෑසනය. මේ වනවිට ආණ්ඩු පෙරළියක් සිදුවී තිබුණු නිසා මගේ නිල නිවස තුළ තිබූ මාගේ පුද්ගලික බඩු භාණ්ඩ ඉන් ඉවත්කර ගැනීමට මා හට සිදුවිය. නිල නිවසේ යතුරු තබා තිබුණේ සිපෙට්කෝ නිවසේ (දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා මූලස්ථානය) හතරවැනි මහලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේය. මේ පිළිබඳව මා අමාත්‍යංශ ලේකම්වරයාට දුරකතනයෙන් කතා කර පැවසුවද එවිට ඔහු කොළඹින් බැහැරව සිටින බැවින් අතිරේක ලේකම්වරයෙක් එම ස්ථානයට එවන බව සඳහන් කළේය. අතිරේක ලේකම්වරයා එනතුරු මා බිම් මහලේ රැඳී සිටින විට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් වන කුලතිස්ස ගීකියනගේ නමැත්තා එතැනට පැමිණ මට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණා. ඔහු මට පහරදීමට උත්සහ කළවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරක්ෂක නිලධාරීන් සහ මගේ ආරක්ෂක නිලධාරීන් ඔහු එතැනින් ඉවත් කළා. රාජ්‍ය ආයතනයකට ඉරිදා දිනයක ඇතුළුවීමට මෙම පුද්ගලයාට කිසිම බලයක් නැහැ. මෙම අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවද සඳහන් කළ යුතුයි.  


අතිරේක ලේකම්වරයා පැමිණෙන තෙක් බිම් මහලේ ඇති සන්නිවේදන හා අලෙවිකරණ සේවා කාර්යාලයේ රැඳී සිටින ලෙසට මගේ ආරක්ෂක නිලධාරීන් මට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මා එහි රැඳී සිටියා. විනාඩි පහළොවකට පසු කුලතිස්ස ගීගනගේ නමැත්තා යළිත් ඒ ස්ථානයට එන බව දොර වීදුරුවෙන් මා දුටුවා. වැඩ තහනමට ලක්වූ සංස්ථා සේවකයෙක් වන බන්දුල සමන් කුමාර නැමැත්තා ද ඔහු සමඟ සිටියා. පොළු මුගුරු හා ක්‍රිකට් පිති රැගත් අති විශාල පිරිසක් ද ඔවුන් සමග පැමිණියා. මෙම මැර පිරිස මට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මා මරා දමන බවට තර්ජනය කළා. මගේ ජීවිතයට දැඩි තර්ජනයක් ඇති බව මට එහිදී පෙනී ගියා.  


මෙම මැර පිරිස මා සිටි කාමරයේ දොර කඩා ඇතුළුවීමට උත්සහ කළ අතර මගේ නිල ආරක්ෂක භටයන් තිදෙනෙක් ඔවුන් වැළැක්වීමට තැත් කළා. මා කාමරයෙන් එළියට නොගියත් මේ සියල්ල දොර වීදුරුවෙන් මා දුටුවා. යකඩ පොළු මුගුරු රැගත් මැරයන් මගේ ආරක්ෂක භටයන්හට පහරදී මා මරා දමන බවට කෑ ගසමින් මා සිටි කාමරයට ඇතුළුවීමට දිගින් දිගටම උත්සහ කළා.  


මැර පිරිසේ පහර කෑමට ලක් වූ මගේ එක් ආරක්ෂක භටයෙක් ඇද වැටෙනු මා දුටුවා. ඒ සමඟ වෙඩි පහරවල් කිහිපයක් ද ඇසුණා. පසුව මැර පිරිස එතැනින් පැන යනු අප දුටුවා. ටික වේලාවකින් පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් පිරිසක් එතැනට පැමිණියා. එම භටයින් හා පොලිස් නිලධාරීන් එක්ව මැර කණ්ඩායම සංස්ථා භූමියෙන් ඉවත් කිරීමට උත්සාහ කළ බවත් එහෙත් එම උත්සහය අසාර්ථක වූ බවත් මට දැනගන්න ලැබුණා.   
මැර පිරිස පැය තුනකට අධික කාලයක් මා එම කාමරය තුළ සිරකර තැබුවා. මා නිරුපද්‍රිතව ඉන් ඉවතට ගෙන ඒමට විශේෂ කාර්ය සාධක බළකා භටයන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා. මැර පිරිසට වෙඩි තැබීමට මා නියෝග කළ බවට අැතැම් අය අසත්‍ය ප්‍රචාර කරනවා. මා එවැනි නියෝග ලබා නොදුන් බවත් කාමරයක සිරවී සිට මා හට එවැනි නියෝගයක් දීමේ හැකියාවක් නොවූ බවත් කිවයුතුය.  


මා මෙම මැර පිරිසට පහරදුන් බවද ඇතැමුන් කියනවා. පොලු මුගුරු රැගත් මැර පිරිසට නිරායුධව සිටි මා පහර දෙන්නේ කෙසේද? මා එවැන්නක් කිරීමට තැත් කළානම් ඔවුන් මා මරා දමනවා නිසැකයි.  


මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතයක් අහිමිවීම පිළිබඳව එම පවුලේ සාමාජිකයන්ට ද මා කනගාටුව ප්‍රකාශ කරනවා. මැර පිරිසේ අරමුණ වුණේ මා මරා දැමීමයි. මා ජීවතුන් අතර සිටින්නේ මගේ ආරක්ෂක භටයන් මැදිහත් වූ නිසායි. මෙම අහිමි වූ ජීවිතයේ වගකීම මැර ප්‍රහාරය සංවිධානය කළ අය භාරගත යුතුයි. අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කරන ලෙස තමන් ඉල්ලා සිටින බව අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.  


ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා දැක් වූ අදහස් මෙසේය.  


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරය භාරගැනීමෙන් පසු අමාත්‍යංශ භාරකොට නව ආණ්ඩුවක් සැකසීමේ කටයුතු මේ වනවිට සංවිධානය වෙමින් පවතිනවා. ඉකුත් සමයේ අප දිගින් දිගටම ජාතික සම්පත් විකිණීම හා ආයතනයේ දූෂිත ක්‍රියාපටිපාටිය ගැන විරෝධතා දැක්වූවා. ඛනිජ තෙල් සංස්ථාව ඇතුළත අර්බුධ රැසක් මතු වී තිබුණා. විවිධ පාර්ශ්ව සිදුකළ දූෂණ අක්‍රමිකතා සම්පත් අවභාවිත කිරීම් පිළිබඳ වාර්තා ලේඛනත් අප සතුව තිබෙනවා.  


සංස්ථාවට හොරෙන් ඇතුළත්වීමට සූදානම් වෙද්දී අදාළ දවස ඉරිදා දිනයක් බැවින් (සඳුදා) රජයේ වැඩ දිනයේ එම කාර්යාලයට පැමිණ අදාළ අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයාට ලේකම්වරයා ද ප්‍රකාශ කර තිබෙනවා. නමුත් හිටපු අමාත්‍යවරයා දැඩි බලහත්කාරයෙන් මූලස්ථානයට ඇතුළු වී තිබෙනවා. ආරක්ෂක අංශ නිලධාරීන් හා සේවක පිරිස අතර එහිදී ගැටුමක් ඇති වුණා. මෙයින් අපගේ එක් සේවකයෙක් මියගිය අතර දෙදෙනෙක් තුවාල ලැබුවා. අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටුවිය යුතුයි. අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා බව සඳහන් කරමින් පොලිසිය ද සිදුකළේ වංචනික ක්‍රියාවක්. තවදුරටත් එය එසේ නොවී සාධාරණයක් ඉටු විය යුතු යැයි යන්න අප අපේක්ෂා කරනවා.  


අපට කිසිවෙක් සමඟ පුද්ගලික ගැටලුවක් නැහැ. වංචනිකව කටයුතු කරලා ලිපි ගොනු රැගෙන යෑමට පැමිණිම ගැන අපි විරෝධය පළ කරනවා.  


චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය බදුදීමට යෑම පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලා සිටියත් අමාත්‍යවරයා අපට ඊට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. වෘත්තීය සංගම් රැසක් අමාත්‍යවරයාගෙන් සාකච්ඡා ඉල්ලා සිටිය ද ඔහු අතින් සාධාරණයක් ඉටු වූයේ නැහැ. වෘත්තීය සමිති සියල්ල සංස්ථා ගැටලුවලදී ඉතාම සහයෝගයෙන් වැඩකටයුතු කළා. අපගේ සහෝදර සේවකයෙක් මෙලෙස මියයෑම පිළිබඳව අප දැඩිව කනගාටුවට පත්වන බවත් ඔහු වෙනුවෙන් නීතිය ඉදිරියේ සාධාරණය ඉටුවිය යුතු බවත් බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.  


ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති (පළාත් සභා මන්ත්‍රී) අශෝක රංවල මහතාගේ අදහස් දැක්වීම මෙසේය.  

 


ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම් (C.P.S.T.L.) ආයතනය තුළත් ආයතනයක් ලෙසම එහි සේවකයන් විවිධ දේශපාලන බෙදීම්වලට ලක්ව තිබෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂලට ​ඔවුන් සම්බන්ධ වී තිබෙනවා. සේවකයන්ගේ මෙම දේශපාලන සබඳතා ඉතාමත් සහෝදරාත්මකව අප සංස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන් මෙතෙක් අප භාවිත කර තිබෙනවා. සංස්ථාව විකිණීම වෙනත් පාර්ශ්ව සඳහා කොටස් පැවරීම ආදියට අප සැවෝම එක්ව විරෝධතා ප්‍රකාශ කර තිබෙනවා. වෘත්තීය සමිති නායකයන් ලෙස අපි සියලු සේවකයන් එකතු කොටගෙන බලයක් ගොඩනඟා ගැනීමට අපට හැකි වී තිබෙනවා. සිපෙට්කෝ ආයතනයේ සුරක්ෂිතභාවය මෙපමණකින් හෝ රැකී තිබෙන්නේ වෘත්තීය සංගම්වල කැපවීම නිසා බව මා ඉතා පැහැදීමෙන් යුතුව සඳහන් කළ යුතුයි. මේ දක්වා සංස්ථා පාලනයට ආ හැම පාලකයෙක්ම තෙල් සංස්ථාව ඈවර කොට ලංකා ගමනාගමන මණ්ඩලයට අත්වූ ඉරණම මෙම සංස්ථාවට ද අත්පත් කරදීමේ උත්සහයක නිරත වුණා. දේශපාලන භේදයකින් තොරව ඒ සෑම අවස්ථාවකම අප කටයුතු කළා. තෙල් සංස්ථා සේවකයන් තුළ පවතින ඉතාමත් සාධනීය ලක්ෂණයක් ලෙස මෙම සේවක සහයෝගය, සහෝදරත්වය පෙන්වා දිය යුතුයි.  
මෙවැනි දේශපාලන බලපෙරළියක් අවස්ථාවක එකී සහෝදරත්වය පසෙක තබා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සේවකයන් සංවිධානය කිරීමේ කටයුතු සිදුවීමක් අපට මෙහිදී දක්නට ලැබුණා. මෙම තත්ත්වය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව පෙන්වා දිය යුතුයි. මෙවැනි තත්ත්වයකදී සේවකයන් රෝහල්ගත කිරීම් මෙන්ම වැඩතහනම් කිරීම් අපවාද අවලාදවලට ලක්වීමද සිදුවෙනවා. මෙම අවස්ථාවේදී සේවකයන් අපහසුතාවයට පත්කිරීම වෙඩි තැබීමක් තත්ත්වයට බරපතළ වී තිබෙනවා. එයින් අප සහෝදරයෙක් ද මරණයට පත් වුණා.  


සේවකයන් මෙලෙස දේශපාලන බලපෙරළියකදී පක්ෂග්‍රාහිවීම පිළිබඳව අපට ගැටලුවක් තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කළ යුතුයි. ඛනිජ තෙල් පොදු සේවක සංගමය වෙනුවෙන් මා අප සේවකයන්ගෙන් දේශපාලන වාදභේද ඉවත ලන ලෙස ඉල්ලා සිටිනවා. තෙල් සංස්ථාව සතු සම්පත් හම්බන්තොට, ත්‍රිකුණාමල අවදානම් තත්ත්වයක තිබෙනවා. පිරිපහදුව අබලන් තත්ත්වයට පත් වී තිබෙනවා. දැවි තෙල් වංචා සිදුවීම ආදිය ඔස්සේ සංස්ථාවට මූල්‍ය පාඩු සිදුවී තිබෙනවා.  


මේ සියල්ල අතරේ තෙල් පිරවුම්හල් ඉන්දියන් සමාගමකට විකිණෙමින් තිබෙනවා. මෙම අවදානම් සමනය කරගන්නා තුරු වෘත්තීය සංගම්වලට සටනක් තිබෙනවා. ඒ වෙනුවෙන් සංවිධානය වෙන ලෙස සේවකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා යැයි අශෝක රංවල මහතා සඳහන් කළේය.  


ජාතික සේවක සංගමයේ සභාපති ජී.ඒ. සමික අසිතංජ මහතා එහිදී දැක් වූ අදහස් මෙසේය.  


ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ හතරවැනි මහළ අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කොට තිබෙනවා. කොළඹ මල්පාර පිහිටි අමාත්‍යංශ කාර්යාලයේ එතෙක් රැඳී සිටියේ ලේකම්වරයා සහ නියෝජ්‍ය ඇමැතිතුමියයි. හතරවැනි මහලේ අර්ජුන රණතුංග ඇමැතිවරයා කාර්යාල කටයුතු පවත්වාගෙන ගියා. ඇමැතිවරයාට හෝ හිටපු ඇමැතිවරයා වෙතත් එම කාර්යාලයට යෑමට ඔහුට අයිතියක් තිබෙනවා. පිටස්තර මිනිස්සු මැදිහත්ව මෙලෙස සංස්ථාව ඇතුළත කලබල ඇති කිරීම ගැන අප ද කනගාටු වෙනවා.  

 


මෙවැනි දේවල් රජයේ සංස්ථා තුළ සිදුනොවිය යුතුයි. නාගරික මන්ත්‍රීවරයෙක් වැනි අයෙකුද ඊට මැදිහත්ව තිබෙනවා. සහෝදර සේවකයෙකුගේ මියයෑම පිළිබඳව අප දැඩි ශෝකය ප්‍රකාශ කරන බවද මෙහිදී සඳහන් කළ යුතුයි. සමික අසිතංජ මහතා සඳහන් කළේය.  


ඉකුත් ඉරිදා දිනයේ දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ ගැටුම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය.  


මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කෙරෙනවා. ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද මේ වනවිට ලබාගෙන තිබෙනවා. ඊට අදාළ ප්‍රකාශ ද සටහන් කර තිබෙනවා. පරීක්ෂණය අවසන් වූ පසු නීතිපතිට එම වාර්තාව ලබාදීම ඉදිරියේදී සිදුවේවි. නීතිපති උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදුවෙතැයි අපේක්ෂා කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  


ඛනිජ තෙල් සංස්ථාව හත්දහසක පමණ සේවකයන්ගෙන් සමන්විත ආයතනයකි. එහි වෘත්තීය සමිති හතක් පමණ ක්‍රියාත්මක වේ. වෘත්තිකයන්ගේ දේශපාලන වාද භේදවලට හේතුව එම සංස්ථාවට බඳවා ගන්නා සේවකයන් අතරින් බහුතරය දේශපාලන මැදිහත්වීම් මත බඳවා ගැනීමයි. රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළ යුතුය.

 

 

සමන්තිකා මාධවී