ජාතික සම්බන්ධීකරණයක් නැතිව ආසාදිතයන් හඳුනා ගැනීම ප්‍රමාදයි


(දයාසීලි ලියනගේ)  

පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමේ දී පසුගිය මාර්තු මාසයේ සිටම ජාතික මට්ටමේ සම්බන්ධතාවක් සිදුනොවීම 

නිසා ආසාදිතයන් හඳුනා ගැනීම ප්‍රමාද වී අවද‌ානම් තත්ත්වයකට රට මුහුණ දී ඇති බව වාර්තා වේ.  

 පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට රසායනාගාර වෙත සාම්පල යොමු කිරීමේ දී ජාතික මට්ටමේ සම්බන්ධතාවක් නොවීම මෙම අවද‌ානමට හේතු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.  


 මේ තත්ත්වය නිසා ඇතැම් රසායනාගාරවලට පරීක්ෂණය සඳහා සාම්පල විශාල ප්‍රමාණයක් යවනු ලබන අතර එහිදී ඒවා ගොඩ ගැසීමෙන් වාර්තා ලබා දීමට ද දින ගණනක් ගත කිරීමට සිදු වී ඇතැයි වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.  


පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වාම වරින් වර ජාතික මට්ටමේ සම්බන්ධතාවක් පැවැත්වීමේ අවශ්‍යතාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා වසංගත රෝග විද්‍යා අංශය දැනුම්වත් කරනු ලැබුවත් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නැති බව ද ඔහු කීය.