ජනාධිපති අපේක්ෂකත්වයට ශ්‍රීලනිප පොහොට්ටුව අතර මත ගැටුමක්


(දයාසිලි ලියනගේ)  

ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මත ගැටුමක් පවතින බව වාර්තාවේ.  


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් එයට එකඟ නොවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් සූදානමින් සිටින බව දැන ගන්නට ඇත.  


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් අතර පවත්නා මෙම එකඟතාව පිළිබඳව මේ වන විටත් ප්‍රධාන දේශපාලනඥයන් දැනුවත් කර තිබෙන බව ද කියති.

දෙපාර්ශ්වයෙන් දෙදෙනෙක් ඉදිරිපත් විය යුතු බව ප්‍රාදේශීය දේශපාලනඥයන් බහුතරයකගේ මතය වී ඇතැයි ද දැන ගන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවිය යුතු බවට එම පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් මේ වනවිටත් ජනාධිපතිවරයාට භාරදී ඇතැයි සඳහන්වේ.  


පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව තනි පක්ෂයක් ලෙස ලබාගත් ජයග්‍රහණය පිරිහීමට ඉඩ නොදී තනි පක්ෂයක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන් බහුතරයකගේ මතය වී ඇතැයි ද කියති.