ජනබලේ කිරි පැකට් තානාපතිවරුන් අතට


(දයාසීලි ලියනගේ)  

ජනබලය කොළඹට උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධ වූ පිරිසකට විෂ මිශ්‍ර කිරි පැකට් බීමට දුන්නේ යැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා රජය නිසි ක්‍රියාමාර්ග නොගත් බවට තානාපතිවරු දැනුම්වත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.  

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සඳුද‌ා සිට තානාපතිවරු හමුවන බව අනුරාධපුරය දිස්ත්‍රික් මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා කීය.  


 ත්‍රස්තවාදී ම්ලේච්ඡ පිරිසක්වත් මෙවැනි පහත් ක්‍රියාවක් නොකරන අතර ඒ සම්බන්ධයෙන් රජය හා පොලිසිය මෙතෙක් පියවරක් නොගැනීම පිළිබඳව තානාපතිවරු දැනුවත් කරනු ලබන බව ද ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.  


 පොදු ජනතාවගේ ප්‍රශ්නයකට රජය ප්‍රතිචාර නොදක්වන බව ජාත්‍යන්තරයට අනාවරණය කිරීම සඳහා තානාපතිවරු දැනුවත් කිරීම මෙහි අරමුණ බව ද සේමසිංහ මහතා සඳහන් කළේය.  


 මීට අමතරව කිරි පැකට් නිෂ්පාදන ආයතනයේ පරිපාලනය හමුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.