ජනපතිවරණය දෙසැම්බර් 7දා ?


මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 31 වැනිදා නවදිල්ලියේදී පැවැසීය.


ජනාධිපතිවරණය දෙසැම්බර් මස 7 වැනි දින පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව තමාට දැන්වූ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගිවීමට නවදිල්ලිය බලා ගොස් සිටින ජනාධිපති සිරිසේන මහතා එහිදී මේ බව ප්‍රකාශ කළේ යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


නැවත වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවාද නැද්ද යන්න තීරණයක් ගන්න මට කිසිම හදිසියක් නෑ යයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නවදිල්ලියේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට පසුව මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්විණ. 


පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මරුමුවට පත්කරමින් අප්‍රේල් මස 21 වැනිදා (පාස්කු ඉරිදා) සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයට දැඩි විවේචන එල්ල වී යැයිද රොයිටර් වාර්තාවේ සදහන් වෙයි.