ජනපතිට යැවූ සංදේශයට අත්සන් ​නොකළ ආසන සංවිධායකවරුන්ට කැපිල්ලක්!


(දයාසීලි ලියනගේ) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම පක්ෂයක් සමග සම්බන්ධ නොවිය යුතු බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ අත්සන් කළ අය ජනාධිපතිවරයා සමග පැවැති සංවිධායකවරුන්ගේ සාකච්ඡාවට කැඳවා අැතත් අත්සන් නොකළ අයට එම සාකච්ඡාවට ආරාධනා නොකිරීම නිසා සංවිධායකවරුන් අතර යම් මත භේදකාරී තත්ත්වයක් උද්ගත වී ඇතිබව වාර්තා වේ.

 

හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේ දී ඇයගේ අනුදැනුම මත සකස් කරන ලදැයි කියනු ලබන මෙම ලිපියට ආසන සංවිධායකවරුන් 40ක පමණ පිරිසක් අත්සන් තබා තිබූ බව ද සඳහන් වේ. 


දකුණු පළාත් ඇමැතිවරයකු හා සබරගමුව පළාතේ හිටපු ඇමැතිවරයකු මෙම ලිපියට අත්සන් තබන බව ප්‍රකාශ කර සිටියත් පසුව එය මගහැර සිටි බව ද කියති. 


ජනාධිපතිවරයා දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධායකවරු හමුවීමේ අවස්ථාවේදී ලිපියට අත්සන් තැබූ යූ.ජී.ඩී. ආරියතිලක, අමරසිරි කුරුවගේ, ප්‍රියංගනි අබේවීර, ශාන්ත රත්නායක ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා​ගේ සාකච්ඡාවට සහභාගි වීමට ආරාධනා ලැබ තිබුණත් ලිපියට අත්සන් නොකළ තිසර ගුණසිංහ, රොෂාන් ගුණවර්ධන, විජිත් අනුරාධ ඇතුළු පිරිසකට ආරාධනා කර නොතිබුණ බව කියති. 


මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර දැඩි අවිනිශ්චිත තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.