ජනපතිගේ ප්‍රතිපත්තිය නිසා මෙවර බස් ගාස්තුව වැඩි කරන්නේ නෑ


ගැමුණු විජේරත්න

(මහින්ද නිශ්ශංක)  

පොදු මගී ප්‍රවාහන සේවාව දියුණු කිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් යෝජනා වී තිබෙන නිසා මේ වසරේ බස් ගාස්තු වැඩි නොකිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.  

මේ අනුව ලබන දෙසැම්බර් මාසයේ සිට බස් ගාස්තුව ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය ඉවත් කරගත් බව ද ගැමුණු මහතා කීය. නව තාක්ෂණය බද්ද වූ පොදු මගී ප්‍රවාහනය සේවා සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් පෞද්ගලික බස් හිමියන්ගේ ආද‌ායම ආරක්ෂා වීම මෙන්ම 45000 ක් පමණ වන පෞද්ගලික බස් සේවකයන්ට විශ්‍රාම වැටුප් හිමි වී ඔවුන්ගේ රැකියා සුරක්ෂිත වන බව ද ඔහු පැවසීය.  


නව වැඩපිළිවෙල යටතේ පෙරගවුම් කාඩ්පත ක්‍රියාත්මක වීම මගින් මාරු කාසි හිඟයට පිළියම් ලැබෙන අතර මාර්ග තදබදය අඩුවීම හා මාර්ග අනතුරු අවම වීම සිදුවන බව ද පැවසූ ගැමුණු මහතා දැනට බස්හිමියන්ගේ ආද‌ායම 25% ක් අහිමි වන අතර මාසයකට රුපියල් කෝටි 20 ක් බස්රථවලින් කප්පම් ගන්නා බව ද කීය. සෑම වසරකම ජූලි 1 ද‌ා බස් ගාස්තු සංශෝධනය වන බවත් මේ වසරේ බස් ගාස්තු සංශෝධනය ඉකුත් ජූලි 1 ද‌ා සිදුනොකළ නිසා ලබන දෙසැම්බර් මාසයේ සිට බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබූ බව ද ඔහු කීය.