ජනපතිගේ නියෝගයත් කුණු කූඩයට ගිහින් !


(දයාසීලි ලියනගේ)  

මහජන උපයෝගීතා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියම කර ඇතත්, එය මෙතෙක් ක්‍රියාත්මක වී 
නැති බව වාර්තා වේ.  

පසුගිය අප්‍රේල් 25 වැනිදා ජනාධිපතිවරයා හා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවක දී එම සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ නිලධාරියා ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ කොමිසමට උපදෙස් දුන්නත්, මෙතෙක් එය ක්‍රියාත්මක වී නැති බව පසුගිය බදාදා ජනාධිපතිවරයා සමග යළි පැවැති සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත.  


දිගු කාලීන විදුලිජනන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කරන ලද යෝජනාව ඉවත දැමීමත් විදුලියට සම්බන්ධ වැඩ අඩාළ කිරීමත් යන චෝදනා මත අදාළ නිලධාරියා ඉවත් කරන ලෙසට සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව සංගමයේ කමිටු සාමාජික අතුල වන්නිආරච්චි මහතා කීය.  


මහජන උපයෝගීතා කොමිසමේ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඉවත් කරන ලෙසට හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවන් පසුගිය 8 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටිති.