ජනපති හෙට ජපාන සංචාරයක


(අජන්ත කුමාර අගලකඩ)  

ජපානයේ අධිරාජ්‍යය ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජයාගේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් රාජ්‍ය නායකයන් සඳහා පැවැත්වෙන උත්සවයකට සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (21) ජපානය බලා පිටත්ව යාමට නියමිතය.  

ජනාධිපති සිරිසේන මහතා මෙම සංචාරයට සහභාගි වන්නේ ජපාන අධිරාජයාගෙන් ලැබුණ විශේෂ ආරාධනයකට අනුව බවද වාර්තා වේ.  


මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මස 17 වැනිදායින් පසුව ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර ඔහු ජනාධිපතිවරයා වශයෙන් සහභාගි වන අවසන් නිල විදේශ සංචාරය මෙය බව පැවසේ.  


ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වන මෙම උත්සවය ටෝකියෝහි ඉම්පීරියල් රජමාලිගාවේදී අනිද්දා (22) පැවැත්වීමට නියමිත අතර, එදින ජපන් අධිරාජ්‍යා විසින් පිරිනමනු ලබන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකටද රාජ්‍ය නායකයන් සහභාගි වනු ඇත.  


මේ අතර, ජපන් අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ මහතා විසින් පිරිනමනු ලබන දිවා භෝජන සංග්‍රහයකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 23 වැනිදා සහභාගි වීමට නියමිතය.  


ජනාධිපති සිරිසේන මහතාගේ මෙම සංචාරයට ජනාධිපති මාධ්‍ය අංශය හෝ සහභාගි නොවන බව දැනගන්නට ඇත.  
ජපානයේ අධිරාජ්‍යා ලෙස සිටි අකිහිතෝ අධිරාජ්‍යා ඉකුත් මැයි මාසයේදී රජකම අත්හල අතර ඔහු පුත් නරුහිතෝ ජපන් අධිරාජ්‍යා ලෙස අලුතින් පත්විය.