ජනපති වැය ශීර්ෂ දිනවන්න පොහොට්ටුවේ සහාය අනෙක් අමාත්‍යාංශවලට විරුද්ධව ඡන්දය දෙයි


(අජන්ත කුමාර අගලකඩ) 
අය වැය විවාදයේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂවලදී පමණක් ඊට එරෙහි නොවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී 
ඩලස් අලහප්පෙරුම මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය. 

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂවලට එරෙහි නොවන නමුත් සමස්ත අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ද මන්ත්‍රීවරයා කීය.  මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් ඉකුත්ද‌ා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැයට විපක්ෂය ලෙස කිසිසේත් උදව් නොකරන බව කී අලහප්පෙරුම මහතා අය වැය කියා ඉදිරිපත් කළ බොරු ලියවිල්ලකට සහාය දිය නොහැකි බව සඳහන් කළේය. 


 අය වැය යනු ගාම්භීර ලියවිල්ලක් නමුත් පසුගිය වසර දෙක තුනේ එය ඉදිරිපත් කළ මුදල් ඇමැතිවරුන් කිහිප දෙනා අයවැයේ තිබූ ගාම්භීරත්වය නැති කළ බවත් අද එය බොරු ගණන් හිලව්වලින් පිරුණු පොඩි එකාගේ ලියුමක් බවට පත්ව ඇති බවත් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. 


 මේ අතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂවලට පක්ෂව ඡන්දය දීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තීරණය කර ඇති අතර සමස්ත අයවැයට සහාය දෙන්නේ ද නැද්ද යන්න මෙතෙක් තීරණය කර නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.