ජනපති ධුර කාලය අවසන් වන දිනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයිද?


(අජන්ත කුමාර අගලකඩ)   

දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර 5කට අඩු කළ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ ලබන ජනවාරි මස 9 වැනිදායින්ද නැතිනම් ලබන වසරේ මැයි මස 15 වැනිදායින්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට යන බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වනවිට දැඩි කතාබහක් මතුව ඇත.   

තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම මේ සතියේදී සිදුවනු අැති බවය.  2015 ජනවාරි මස 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය වසර 6ක් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 19 වැනි සංශෝධනය හේතුවෙන් එය වසර 5 ක් දක්වා අඩු කරනු ලැබීය.   


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 මැයි මස 15 වැනිදා සිට බලාත්මක වූ බැවින් ජනාධිපතිවරයාගේ වසර 5ක ධුර කාලය ආරම්භ වන්නේ 2015 ජනවාරි 8 වැනිදා සිට ද නැතිනම් 2015 මැයි මස 15 වැනිදා සිටද යන්න පිළිබඳ විවිධ පාර්ශවවල කතාබහට ලක්ව තිබේ. මේ තත්ත්වය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමේ ඉඩකඩ පවතින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.   


ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ද නැතිනම් වසර 5 ද යන්න සම්බන්ධයෙන් 19 වන සංශෝධනය පිළිබඳව මීට පෙර අර්ථ නිරූපණයක් ලබා ගත් අතර, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී තීරණය කර තිබිණි.