ඡන්දෙට සෞඛ්‍ය ගැසට්ටුව ගහන්න නීතිමය බලයක් නෑ


නීතිපති සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දෙයි  

(අජන්ත කුමාර අගලකඩ)  

මහ මැතිවරණය සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වීමට අදාළ නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.  
කොවිඩ් 19 වයිරසය හමුවේ මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දෙනු ලැබූ අතර එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක්කර තිබිණි.  

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ ගැසට් නිවේදනයේ කෙටුම්පත සකස් කර සති ගණනාවකට පසුව නීතිපතිවරයාගේ අනුමැතිය සඳහා ගිය සතියේ යොමුකර තිබූ අතර මහමැතිවරණයට අදාළව පමණක් එම ගැසට් නිවේදනය නිකුත් කළ නොහැකි බව නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා එවා ඇතැයි එම අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.​  


කොවිඩ් 19 වයිරසය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් නිරෝධායන පනතට අනුව මැතිවරණයට අදාළ වෙන අන්දමින් පමණක් රෙගුලාසි පනවමින් ගැසට් නිවේදන නිකුත් කිරීමේ නීතිමය පදනමක් නැතැයි නීතිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති බව ද එම ආරංචිමාර්ගවලින් පැවැසේ. 


මේ තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේ දී නීතිපතිවරයා​ගේ අදහස විමසනු ඇතැයි ද වාර්තාවේ.  


මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ රෙගුලාසි පනවමින් ගැසට් නිවේදන නිකුත් කළා සේ මෙම සෞඛ්‍ය නිර්දේශ සම්බන්ධයෙන් ද නීතිපතිවරයා​ගේ මතය විමසීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවටම ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.