ඡන්දෙ තියන්න අපි කොමිසමට උපදෙස් දෙන්නෙ නෑ


පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී  ජාලිය සේනාරත්න

(දුෂ්‍යන්ත කුමාර)  

කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක තුළ දැනට පවතින ඇඳිරි නීතියේ යම් ලිහිල් කිරීමක් ඉදිරි දිනවලදී කළ හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ බලධාරීන් සාකච්ඡා කර ජනපතිතුමන් දැනුවත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  

කොරෝනා වෛරසය සමාජය තුළ පැතිරීම පසුගිය දින කිහිපයේදී යම් අඩුවක් පෙන්නුම් කිරීම නිසා ජනජීවිතය යම් තරමකට සාමාන්‍යකරණය කිරීම අරමුණු කරගෙන කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල දැනට පවතින ඇඳිරි නීතිය එළැඹෙන සතියේදීවත් ලිහිල් කළ හැකිවේදැයි යන්න සලකා බැලෙන බව ඒ මහතා අවධාරණය කළේය.  


දැනට වැලිසර නාවික හමුදා නිලධාරීන්ගේ ඇසුරු කිරීම හරහා මතුවන රෝගියකු හැරුණු කොට සාමාන්‍ය ජන සමාජයෙන් එවැනි රෝගීන් මතුවීමේ අවධානම අඩු වී ඇති නිසා මෙතෙක් දියත් කළ වැඩ පිළිවෙළේ ඉතා සතුටුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.  


කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රක්ක සියල්ලේ කලින් ක්‍රියාත්මක වූ ආකාරයටම ඇඳිරි නීතිය ලිහිල් කරමින් ක්‍රියාත්මක වෙන අතර පිළිපැදිය යුතු සෞඛ්‍ය රීතින් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම රෝගය ව්‍යාප්තවීම පාලනයට බෙහෙවින් වැදගත් වන බව ඒ මහතා පෙන්වා දෙයි.