ඡන්දයට පෙර මැතිවරණ නිලධාරීන්ගේ ගමන්මළු පිරික්සයි


(දයාසීලි ලියනගේ)  

ලබන 5 වැනිද‌ා ඡන්දය විමසීම ආරම්භ කිරීමට පෙර රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මැතිවරණ නිලධාරීන්ගේ හා ඡන්ද නියෝජිතයන්ගේ ගමන් මලුවල අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කළ යුතු බවට නියම කර තිබේ.  

මීට අමතරව මැතිවරණ රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට හැර අන් කිසිවකුට කිසිම හේතුවක් නිසාවත් අවි ආයුධ රැගෙන ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවට නියම කර ඇති අතර ඡන්ද මධ්‍යස්ථානය අසල කිසිවකුට නිකරුණේ ගැවසීමට ඉඩ නොදිය යුතු බව ද මැතිවරණ කොමිසම මගින් පොලිසියට දන්වා ඇත. කොට්ඨාසයට අවශ්‍ය කෙරෙන අවි හා උණ්ඩ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ (මැතිවරණ) අනුමැතිය යටතේ ලබා ගැනීමට කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.