ඡන්දය දෙන්නේ කොහොමද?


නව ඡන්ද ක්‍රමයක් අපේ රටට අවශ්‍ය යැයි කියැවෙන මතවාද රැසක් කලක් තිස්සේම පැවතුණි. මනාප ලබා ගැනීමේ අරමුණ මත අපේක්ෂකයන් අතර දැඩි තරගකාරිත්වයක් ඇතිවීම, ඒ ඔස්සේ නිර්මාණය වූ පක්ෂ ආධාරකරුවන්ගේ ගැටුම් නිසා දේපළ මෙන්ම ජීවිත හානි ද සිදු වූ අවස්ථා බොහෝය. කොට්ඨාසයට වගකියන දේශපාලන නියෝජිතයෙක් බිහිකිරීමේ ප්‍රමුඛ පදනම මත මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය ඡන්ද ක්‍රමයේ වෙනස්කම මේ වෙන විට සිදු වී අවසන්ය.  


පනත් සංශෝධනය වීම්, සීමා නිර්ණය වාර්තා ඉදිරිපත්වීම, ඒවා ප්‍රතික්ෂේප වීම, නැවත කැඳවීම් ආදී ගැටලු රැසකට පසුව ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම සඳහා වසරකටත් වැඩි කාලයක් ගත විය.  


මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඡන්ද කොට්ඨාස දහහතර දහස් නවසිය දහ නවයකදී පැවැත්වීමට නියමිතය. පෙර සඳහන් කළ ආකාරයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මැදිහත් වීමෙන් සිදු කළ සීමා නිර්ණය කිරීම් කමිටු වාර්තා මත පදනම්ව මෙම ඡන්ද කොට්ඨාස බෙදීම සිදු වී ඇත. ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා යන පළාත් පාලන ආයතන තුන්සිය හතළිස් එකක් සඳහා මෙවර පැවැත්වෙන ඡන්ද විමසීමෙන් ජනතා නියෝජිතයන් අටදහස් තුන්සිය පනස් හය දෙනෙක් තෝරා ගැනීමට නියමිතය.  


 ඡන්ද පැවැත්වීම් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට පෙර සියලු පළාත් පාලන මැතිවරණ සභා සඳහා තෝරා ගන්නා ලද සභික ප්‍රමාණය වූයේ පන්දහස් හාරසිය දහනවයක පිරිසකි. ඒ අනුව නව ඡන්ද ක්‍රමයෙන් පළාත් පාලන ආයතන සඳහා තුන් දහසකට ආසන්න නව සභිකයන් ප්‍රමාණයක් තේරී පත්වීමට නියමිතය. එම නියෝජිතයන් සියලු දෙනා වෙනුවෙන් වැටුප් ගෙවීම හා අනෙකුත් නඩත්තු කිරීම් සිදුවිය යුත්තේ රජයේ මූල්‍ය ප්‍රතිපාදන වැය කිරීමෙනි.  


තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලට අදාළ ඡන්ද ගණන් කිරීම් ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින්ම සිදුවෙන බැවින් ඡන්ද ප්‍රතිඵල කඩිනමින් සැපයිය හැකිවනු ඇතැයි ජාතික මැතිවරණ කොමිසම විශ්වාසයෙන් පසු වේ.  


ඡන්ද මධ්‍යස්ථානයේදී ඔබ අතට පත්වෙන ඡන්ද පත්‍රිකාවේ සටහන් වෙන්නේ ඒ ඒ පක්ෂවල නම සහ පක්ෂයට අදාළ සලකුණ පමණි. එක් පක්ෂයකට එක් කොට්ඨාසයක් සඳහා ඉදිරිපත් කළ හැකි වෙන්නේ එක් අපේක්ෂකයකු පමණක් වන අතර ජන ඝනත්වය, භූමි ප්‍රමාණය ආදී සාධක මත ඇතැම් ඡන්ද කොට්ඨාස සඳහා අපේක්ෂකයන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඉදිරිපත් කළ හැකිය. ඡන්දය ලබා දීමේදී පක්ෂයට ඡන්දය ලබා දීමෙන් අදාළ ජනතා නියෝජිතයා තෝරා පත්කර ගැනීමේ හැකියාව ඔබට ලැබේ. පක්ෂය හා පක්ෂ සලකුණ මෙන්ම යම් කොට්ඨාසයකට ස්වාධීනව ඉදිරිපත් වෙන අයෙක් වේ නම් එම ස්වාධීන කණ්ඩායමේ අංකය සහ සලකුණ ඡන්ද පත්‍රිකාවේ සඳහන් වේ. ජනතා නියෝජිතයාට අදාළ නම හෝ ඔහුට අදාළ අංකයක් හෝ ඡන්ද පත්‍රිකාවේ කිසිදු විටෙක සඳහන් නොවෙන අතර ඔබේ කැමැත්ත සහිත අපේක්ෂකයා දිනවීමට නම් පක්ෂය හා පක්ෂ ලකුණ සඳහන් ස්ථානයෙන් ඡන්දය සටහන් කළ යුතුය.  


පක්ෂයට ඡන්දය ලබා දීමෙන්ම ඔබේ කොට්ඨාසයට අදාළ නියෝජිතයා තේරී පත්වීම අනිවාර්යයෙන් සිදුවේ. බහු අපේක්ෂකයන් සහිත කොට්ඨාසයකදී වුවද පක්ෂයට ලබාදෙන ඡන්දය මත අදාළ කොට්ඨාසයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනා හෝ තිදෙනාම අදාළ පළාත් පාලන ආයතනයට තේරීපත්වීම සිදු වේ.  


පළාත් පාලන ආයතන සභිකයන් තෝරා ගැනීමේදී ඡන්දයට ඉදිරිපත් වෙන අපේක්ෂක ලැයිස්තුවක් සහ සමානුපාතික පදනම මත ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ලැයිස්තුවක් යන කොටස් දෙකකින් සමන්විත වේ. අදාළ පළාත් පාලන ආයතනය සඳහා ලද මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව අදාළ පළාත් පාලන ආයතනය සඳහා නිර්දේශ සමස්ථ සභික සංඛ්‍යාවෙන් බෙදීමෙන් සභිකයන් පත්කර ගැනීම සිදු වේ. මෙහිදී පෙර සඳහන් කළ ආකාරයට ඡන්ද විමසීමෙන් සියයට හැටකුත් සහ ඉතිරි සියයට හතළිහක පිරිස සමානුපාතික ලැයිස්තුවෙන් ද තේරී පත් වේ.  


ඡන්ද විමසීමේදී එක් පළාත් පාලන ආයතනයක් සඳහා හිමිවෙන මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව තේරීපත් විය යුතු සභික සංඛ්‍යාවෙන් බෙදෙන අතර ඒ අනුව සභිකයකු තෝරා ගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව තීරණය වේ. එම අගය ‘තීරක අගය’ ලෙස නම් කෙරේ. ඉන් අනතුරුව ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලැබූ ඡන්ද සංඛ්‍යාව ඉහත සඳහන් කළ තීරක අගයෙන් බෙදීමක් සිදුවන අතර එහිදී ඒ ඒ පක්ෂයට හිමි සභික සංඛ්‍යාව කොපමණද යන්න තීරණය වේ.  


 උදාහරණයක් ලෙස තීරක අගය දහසක් වශයෙන් දැක්වුවහොත් යම් පක්ෂයක් ඡන්ද විසිදහසක් ලැබුවහොත් එම පක්ෂයට පළාත් පාලන ආයතනයේ ආසන විස්සක් හිමි වේ. ඡන්ද විසිදහසක් ලැබූ පක්ෂයක් වේ නම් ඔවුන් ඡන්ද කොට්ඨාසවලින් පහළොවක් ජයග්‍රහණය කර ඇත්නම් ඉතිරි පස්දෙනා අමතර ලැයිස්තුවෙන් හෝ පරාජය වූ අපේක්ෂකයන්ගෙන් තෝරා ගැනීමට අදාළ පක්ෂයේ ලේකම්වරයාට බලතල හිමි වේ. තීරක අගය ඡන්ද දහසක් වෙන අවස්ථාවක පළාත් පාලන ආයතනයේ ඔවුන්ට හිමි ආසන සංඛ්‍යාව දොළහක් වෙන අතර ඔවුන් ජයග්‍රහණය කර ඇති ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව අටක් නම් ඉතිරි හතර දෙනා සමානුපාතික ලැයිස්තුවෙන් හෝ පරාජය වූ අපේක්ෂකයන් අතරින් වුවද පක්ෂ ලේකම්වරයාගේ අභිමතය අනුව තෝරා ගැනීමේ හැකියාව තිබේ.  


ඡන්ද කොට්ඨාසයකින් පළාත් පාලන ආයතනයකට තේරී පත් වූ නියෝජිතයෙක් මියගිය හොත් හෝ ඉල්ලා අස්වුවහොත් හෝ නැවත ඡන්දයක් පැවැත්වීමක් සිදුනොවන අතර පක්ෂ ලේකම්වරයාගේ අභිමතයට අනුව එම පුරප්පාඩුව සඳහා අදාළ ලේඛන දෙකෙන් එක් අයෙක් තෝරා ගනු ලැබේ.  


පාලන ව්‍යූහය තුළ දී ඡන්ද ලැයිස්තුවෙන් පත්වෙන අය තමාට අදාළ ඡන්ද කොට්ඨාසයට වගකිව යුතු අතර සමානුපාතික ලැයිස්තුවෙන් තේරී පත්වන සභිකයින් පළාත් පාලන ආයතනයට අදාළ මුළු බල ප්‍රදේශයේ කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දිය යුතුය. කොට්ඨාස මට්ටමින් තේරීපත් වෙන නියෝජිතයන්ට තමන්ට අදාළ කොට්ඨාසයේ සංවර්ධන කටයුතු ඇතුළු අනෙක් ගැටලු හඳුනා ගැනීම් ආදිය සඳහා වැඩි වගකීමක් හිමි වේ.  


ඡන්දය පැවැත්වීමේ ක්‍රියාවලියේ වෙනස්කමක් මිස පළාත් පාලන ආයතන ව්‍යූහය තුළ කිසිදු වෙනසක් සිදුනොවන අතර ඒ ඒ පළාත් පාලන ආයතන මට්ටමින් ඔවුන්ට අදාළ බල ප්‍රදේශ සම්බන්ධයෙන් සාමුහිකව වගකීම් ඉටුකළ යුතුය.  


ඡන්දය ප්‍රකාශ කිරීමේදී පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියෙන් කතිරය යෙදීම පමණක් සිදුවිය යුතුය. ඡන්ද පත්‍රිකාවේ මනාප ලකුණු කිරීම හෝ වාක්‍ය ලිවීම, වෙනත් සටහන් කිරීම් හෝ චිත්‍ර ඇදීම් වැනි යමක් සිදුවුවහොත් ඔබේ ඡන්දය අවලංගු ඡන්දයක් වෙන අතර තමා වඩාත් කැමති අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ ඔබ වඩාත් ලැදියාවක් දක්වන පක්ෂයකින් නොවේ නම් පක්ෂයට ඡන්දය ලබා නොදී පුද්ගලයාට ඡන්දය ලබාදීමේ හැකියාවක් නැත.  


ඡන්ද නීතිරීතිවලට අනුගත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ජාතික මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් අප සමඟ සඳහන් කළේය. මැතිවරණ නීතිවලට පටහැනිව කටයුතු කරන පිරිස් වේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත හෝ අදාළ දිස්ත්‍රික්ක​ෙය් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මට්ටමින් දැනුවත් කිරීමට පුරවැසියන්ට හැකියාව තිබේ.  

 

සටහන  
සමන්තිකා මාධවි