ඡන්ද ප්‍රතිඵලය ප්‍රමාද වුණේ ඇයි ?


පසුගිය 10 වැනිදා නිමාවට පත්වූ පළාත් පාලන මැතිවරණයෙහි ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාදවීම ගැන ගෙවී ගිය දින කීපයේදී යම් කතාබහක් ගොඩනැගෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. පළමු නිල ප්‍රතිඵලය එදින රාත්‍රී අට පමණ වෙන විට නිකුත් කරන්නට හැකිවෙතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවත් පළමු ප්‍රතිඵලය නිකුත් කරන විට මධ්‍යම රාත්‍රී දොළහද ඉක්මවා තිබිණි. එමෙන්ම පසුදා (11) උදෑසන වෙන විටද සැලකිය යුතු පළාත් පාලන ආයතන ප්‍රමාණයක ප්‍රතිඵල නිකුත් කර නොතිබිණි.  


මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වුණු අතර මනාප ක්‍රමය නොමැති මෙම නව ඡන්ද ක්‍රමය යටතේ ඡන්දදායකයෝ තමන්ගේ ඡන්ද කොට්ඨාසවලින් තරග කළ අපේක්ෂකයන් නියෝජනය කළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ඡන්දය භාවිත කළහ. එමෙන්ම මෙම මැතිවරණයේදී ඡන්ද ගණනය කිරීම ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදුකෙරිණි. මෙවර මනාප ක්‍රමය ඉවත් කර තිබුණෙන් මනාප ගණන් කිරීමක් සිදුනොවීම නිසා මෙන්ම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණන් කිරීම සිදුවූයෙන් බොහෝ දෙනෙකු සිතුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කී පරිදි ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් වෙනු ඇතැයි කියාය. එහෙත් සිදුවූයේ පසුදා රාත්‍රිය වෙනතෙක්ම ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවීමය.  


ප්‍රතිඵල නිකුත්වීම මේ ආකාරයට පමාවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් මැතිවරණ කොමිසම මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකුත් කර තිබුණු අතර එහි දැක්වුණේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් වෙත ෆැක්ස් හා දුරකථන මගින් ලැබුණු ඒ ඒ ඡන්ද කොට්ඨාසවල ප්‍රතිඵල හා ඒවායෙහි අතින් ගෙන එන ලද ප්‍රතිඵල සසදා බැලීමට සිදුවූ බැවින්ද ඇතැම් ඡන්ද කොට්ඨාසවල තැපැල් ඡන්ද ප්‍රතිඵලය එම කොට්ඨාසයේ සමස්ත ප්‍රතිඵලයට එකතු කර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් වෙත යොමුකර නොතිබූ බැවින්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බවය. එමෙන්ම කොමිසම වෙත ලැබෙන ප්‍රතිඵල පරිගණක ගත කිරීමට අදාළව සකස්කර තිබූ මෘදුකාංගය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ද මේ ප්‍රමාදයට සෑහෙන බලපෑමක් කළ බව දැනගන්නට ලැබේ. 


ඔවුන්ට අනුව ප්‍රමාදයට හේතුව ප්‍රතිඵල නිකුත් කරන පරිගණක ජාලයේ දෝෂයකි. පළමු ඡන්ද ප්‍රතිඵලයේ සිටම පරිගණක ජාලයේ දෝෂ සටහන්වූ බවත් ඉන්පසු ප්‍රතිඵල නිකුත් කිරීම පරිගණක භාවිතයෙන් තොරව සිදු කිරීමට සිදුවූ බවත් දැන ගන්නට ඇත. සමහර සංඛ්‍යා ලේඛණ පරිගණක පද්ධතියට ඇතුළත් කළ පසු අසාමාන්‍ය වෙනස්කම් පෙන්නුම් කළ බවද කියැවේ. මේ නිසා ප්‍රතිඵල ගණනය ප්‍රමාදවූ බවද දැන ගන්නට ඇත.


මේ දක්වා මැතිවරණවලදී ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දායකවූ කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවට මෙවර දායක කරගෙන තිබුණේ වෙනත් විශ්වවිද්‍යාලයක පරිගණක ඒකකයකි. 


ප්‍රතිඵල ප්‍රමාදය සම්බන්ධයෙන් මැතිවරණ නිරික්ෂණ සංවිධාන දෙකක නියෝජිතයන් දක්වන අදහස් මෙසේය.  


අලුත් ඡන්ද ක්‍රමයකදී මේ වගේ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්
මංජුල ගජනායක ජාතික සම්බන්ධිකාරක මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය  
අලුත් මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන කොට මේ වගේ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කලින් තිබුණෙ සරල ක්‍රමයක්. නමුත් මේ අලුත් ක්‍රමය යටතේ කොට්ඨාස විතරක් පන්දාහකට ආසන්න ගාණක් තිබුණා. කොට්ඨාසවල ප්‍රතිඵල එක් එක් පළාත් පාලන ආයතන මට්ටමින් නිකුත් කරන්න ගියහම ඒක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්වෙනවා. අපිට පෙනෙන විදියට මේ සංකීර්ණ ක්‍රියාවලියට අදාළව මැතිවරණ කොමිසමට තාක්ෂණික සූදානමක් තිබුණත් ඒක ප්‍රමාණවත් නෑ. සන්නිවේදනය පිළිබඳ ප්‍රශ්නයකුත් තිබුණා. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් 25 දෙනාගෙන් සමහරු තැපැල් ඡන්ද සමස්ත ප්‍රතිඵලයට එකතු කරලා තිබුණට තව සමහරු ඒක කරලා තිබුණෙ නෑ. ප්‍රතිඵල ප්‍රමාදයට මේකත් එක හේතුවක් වුණා.  


මේ ප්‍රතිඵල ප්‍රමාදය ගැන කවුරු මොනවා කිව්වත් අපි නම් විශ්වාස කරන්නේ තාක්ෂණික බිඳවැටීමක් නිසා මේ තත්ත්වය ඇති වුණා කියලා. කලින් සූදානම් කරලා තිබුණු තාක්ෂණික මෘදුකාංගය ක්‍රියාත්මක කරගන්න බැරි වුණු නිසා අන්තිමට ප්‍රතිඵල නිකුත් කළේ අතින් ලියලා. මේ නිසා අපිට තියෙන ප්‍රශ්නය තමයි ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා කොමිසමට තිබුණු තාක්ෂණික සූදානම ප්‍රමාණවත්ද කියන එක. මේ ගැටලුව හැරුණහම ප්‍රතිඵලවල තියෙන විශ්වාසනීයභාවය ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රතිඵල ඉතාම විශ්වාසනීයභාවයෙන් යුතුව නිකුත් කරලා තියෙනවා.  


මුල් තක්සේරුවේදී වැරැද්දක් සිදුවුණා කියා සිතනවා

ෙරා්හණ හෙට්ටිආරච්චි,  
විධායක අධ්‍යක්ෂ,   පැෆරල් සංවිධානය  


අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ මේ මැතිවරණය පවත්වන කොට මේ ගැන නිවැරදි තක්සේරුවක් කාටවත් තිබුණෙ නෑ. හැමෝම හිතුවෙ කොට්ඨාස මට්ටමින් ඡන්ද ගණන් කරලා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ තක්සේරුවෙ වැරැද්දක් වුණා කියලා මම හිතනවා.  


මැතිවරණ ක්‍රමය අලුත් එකක් නිසා සූදානම්වීමේ ප්‍රශ්නයකුත් තියෙන්න ඇති. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වීම ගැන මැතිවරණ කොමිසම නිකුත් කරපු නිවේදනයෙන් ප්‍රමාදයට හේතු ගැන පැහැදිලි කරලා තිබුණා. ඒ කොහොම වුණත් ප්‍රතිඵල නිකුත් කරද්දී කිසිම ගැටලුවක් නොවෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. කිසිම අක්‍රමිකතාවක් මේකෙදි වුණේ නෑ. ඡන්ද ප්‍රතිඵල කලින් නිකුත් කරනවා කියන එක ගැන මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීලා ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වුණු එකෙන් තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ.  


දෙවැනි පාර ඡන්ද ගණනය කිරීමට යම් කිසි කාලයකුත් ගත වෙනවනෙ. මොකද මූලික ප්‍රතිඵලය කොමිසමට ගෙන්න ගත්තට පස්සේ ලබාගත්ත ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව එක එක දේශපාලන පක්ෂවලට ලැබෙන ආසන ප්‍රමාණය කොහොමද බෙදෙන්නෙ කියන එක ගැනත් කොමිසම ගණනය කරන්න ඕන. ඒකටත් සාධාරණ වෙලාවක් ගත වුණා.  

උපුල් වික්‍රමසිංහ