ඡන්ද දින නියමයට කොමිසම හෙට රැස්වෙයි


(අජන්ත කුමාර අගලකඩ)

මහ මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් හෙට (08) තීරණය කෙරෙනු ඇත.  


ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව හෙට පෙරවරුවේ රැස්වීමට නියමිතය.  
මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරෙන ගැසට් නිවේදනය සහ අපේක්ෂකයන්ගේ නම් හා මනාප අංක ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණය කෙරෙනු ඇත.  


ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය හා මනාප අංක ගැසට් නිවේදන දෙක හෙට මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.   

පාර්ලිමේන්තු මැතිවරණය ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එය ජූනි මස 20 වැනිදා දක්වා කල්දැමීමට සිදුවූයේ රට තුළ ව්‍යාප්ත වූ කොරෝනා වයිරසය හේතුවෙනි.  
මහමැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් පිළිබඳ තීන්දුවක් ලැබෙන තෙක් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබිණි.  


ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසා මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමට කොමිෂන් සභාව හෙට රැස්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් බදාදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.  


දැනගන්නට ඇති පරිදි මැතිවරණය ජූලි මස අග හෝ අගෝස්තු මස මුලදී පැවැත්වෙනු ඇතැයිද වාර්තා වේ.