චීනයෙන් ලොකු ණයක් ගනියි


(අජන්ත කුමාර අගලකඩ)   

මෙරට විදේශ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක පමණ විනිමය හුවමාරු පහසුකමක් චීනයෙන් ලබා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   
ශ්‍රී ලංකා මහ බැංකුව චීන මහ බැංකුව සමග ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති අතර  එම සාකච්ඡා සාර්ථක බව ද එම ආරංචිමාර්ග කියයි.   

 විදේශ සංචිතය ශක්තිමත් කිරීම සඳහා රජය පසුගිය වසරේ ඉන්දීය සංචිත බැංකුවෙන් ද ඇමෙරිකානු ඩොලර් කෝටි 40ක විනිමය හුවමාරු පහසුකමක් ලබා ගත් අතර එය පසුගිය සතියේ ආපසු ගෙවා දමා ඇතැයි ද රජයේ ආරංචිමාර්ගවලින් පැවැසේ.   


මේ අතර විනිමය හුවමාරු පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කොරියාව, බංගලාදේශය සහ ඉන්දුනීසියාව යන රටවල මහ බැංකු සමග ද සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.   
මීට අමතරව මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ද ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක පමණ මුදලක් මේ වසරේ මුල් භාගයේ දී එක්රැස් කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.