ගෝඨාභය- ශ්‍රීලනිප සාකච්ඡාවක් මේ සතියේ


(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මේ සතියේ දී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.   

පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපයෙන් පත් කෙරුණ මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවට ශ්‍රීලනිපයෙ තවත් ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කෙරෙනු ඇති බව එම ආරංචිමාර්ග කියයි.   


ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්නේ නම් ඒ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟම සාකච්ඡා කර තීන්දුවලට පැමිණීම වඩාත් සුදුසු බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී ඇතැයි පැවැසේ.   


ඒ අනුව මෙම හමුව සිදුවනු ඇති බවත් දැනට පත්කර සිටින තිදෙනකුගෙන් යුත් කමිටුවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කිහිප දෙනකු ද පත් කෙරෙනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග කියයි.  ​