ගෘහස්ථ ගෑස් මිල ඉහළ යන ලකුණු ?


(මහින්ද නිශ්ශංක)  

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩිවෙමින් තිබිය දී මෙරට ගෑස් මිල වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා නොදීම නිසා තම සමාගම්වලට සිදුවන පාඩුව හේතුවෙන්

ගෑස් ආනයනය සියයට 50 කින් අඩු කිරීමට ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් සමාගම් පියවර ගෙන ඇතැයි එම සමාගම් ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.  මේ අනුව ලබන මාසය පමණ වන විට මෙරට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ද වාර්තා වේ.  


ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල වැඩිවෙමින් පවතින බැවින් තම සමාගම්වලට සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද පාරිභෝගික අධිකාරිය එයට මෙතෙක් අවසර ලබා නොදුන් බව ද පවසන සමාගම් මේ වන විට ගෑස් සිලින්ඩරයකින් රුපියල් 300 ක පමණ පාඩුවක් සිදුවන බව ද කියා සිටී.  


මේ වන විට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකන් ඩොලර් 595.5 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද පවසන සමාගම් දැනට ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන මිලට තවදුරටත් ලබා දිය නොහැකි බැවින් මෙරට ගෑස් මිල අනිවාර්යෙන් වැඩිවිය යුතු බව ද පවසයි.  


මේ අතර දැනට සමාගම් ලබන පාඩු තත්ත්වය යටතේ වුවද ගෑස් සිලින්ඩරයකින් රුපියල් 300ක පමණ වාසියක් තවමත් පාරිභෝගිකයාට ලබා දෙන බව ද සමාගම් පෙන්වා දේ.