ගෘහස්ථ ගෑස් මිල යළි ඉහළට !


(මහින්ද නිශ්ශංක) 

කිලෝ 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් නැවත වැඩි විය යුතු බව ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි හා ආයතනික සම්බන්ධතා විධායක අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා පවසයි. 

විශේෂයෙන් ලෝක වෙළෙඳපොළේ මෙම මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 647 දක්වා ඉහළ ගොස් තිබීම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාමට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 350 කින් ඉහළ දැමීමට සිදුවී ඇතැයි පෙන්වා දෙන විධායක අධ්‍යක්ෂ චමින්ද මහතා සමාගමේ වියදම් වැඩිවීම ගෑස් වැඩිවීමට ඇතුළත් නැතැයි කීය. 


ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල වැඩිවීම හා ඩොලරයේ අගය ඉහළ යාම පදනම් කරගෙන ගෑස් සමාගම් දෙකම සෑම මාසයකට වරක් ගෑස් මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කරන බව ද පැවැසූ ඒ මහතා ඔක්තෝබර් මාසයට හිමි ගෑස් මිල වැඩිවීම සම්බන්ධව ඉදිරියේදී අධිකාරියෙන් ඉල්ලීම් කරන බව ද පැවැසීය. 


ගෑස් මිල සූත්‍රය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම නිසා ලිට්රෝ ගෑස් සමාගමට මේ වන විට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 4.7 ක් පමණ බව ද කී විධායක අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා ගෑස් සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීම සම්බන්ධව මේ දිනවල සාකච්ඡා පවතින බව ද කීය. 


මේ අතර ඉකුත් මස 26 ද‌ා කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කෙරිණි.