ගුවනින් ඉසින මල් වරුසා මැද සුපිරි පෙට්ටියකින් යන පාතාලයන්ගේ සුපිරි අවමඟුල්


 

අවමඟුල් පෙරහරක දී ගුවනින් මල් ඉසිනු අප දැක ඇත්තේ උත්තරීතර සංඝයා වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවයක දී හෝ බෞද්ධ සිද්ධස්ථානයක ධාතු නිදන් කිරීමක දී වැනි උතුම් අවස්ථාවක දී ය. හුදෙක්ම එය සැදැහැවත් බෞද්ධයන් පහන් සංවේගය උදෙසා භක්තියෙන් යුතුව සිදුකරන්නකි. එහෙත් මේ කියනා “මල් ඉසීම” වනාහී එවන් වූ ගෞරවාදරයෙන් යුතුව සිදුකරන්නක් නම් නොවිණි. 

 
සංවිධානාත්මක අපරාධකරුවන්, මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් හෝ පාතාල නායකයින්ගේ අවමඟුල් උත්සව සඳහා “ගුවනින් මල් ඉසීමේ කලාව” ඔවුන්ගේ අනුගාමිකයින් හෝ තවත් එවැනිම පාතාල කෙරුමන් විසින් සිදුකරනු ලැබීම මෑත කාලීනව දක්නට ලැබෙන්නකි.   


ඉකුත් 24 වැනිදා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ දේමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් ‘ගොනාකෝවිලේ රොහා’ ගේ මරණය සැමරීම වෙනුවෙන් සිංහාරගේ අමල් සමින්ද සිල්වා හෙවත් “රත්මලානේ කුඩු අංජු” ඉතාලියේ සිට රත්මලානේ දී මෙහෙයවූ නාටකය පිළිබදව අපට අසන්නට දකින්නට ලැබුණු අලුත්ම සිද්ධියයි. පොලිසියට වෙට්ටු දමන්නට ගිය රොහා, මියයන්නට පෙර කුඩු අංජු විසින් රුපියල් කෝටි 5ක ලන්සුවක් තබා තිබුණේ “රොහාගේ බෙල්ල” වෙනුවෙනි.   


තම එකම වෛරක්කාරයා වෙඩි කෑ පුවත ඇසූ සැණින් සිය ෆේස්බුක් ගිණුමෙන් සක්‍රීය වූ ‘කුඩු අංජු’ රඟන්නට වූයේය. තත්පරෙන් තත්පරය ෆේස් බුක් ගිණුම යාවත්කාලීන කරමින් ‘කුඩු අංජු’ රැඟුවේ අමුතු තාලයේ රැඟුමකි. රොහාගේ මරණයේ සතුට වෙනුවෙන් “මුළු ගමටම බොන්න දෙනවා. වහාම අමතන්න” වශයෙන් සඳහන් කරමින් ඉතාලි රටේ දුරකතන අංකයක් ද සඳහන් පෝස්ටුවක් ‘අමල් සිංහාර” නමැති කුඩු අංජුගේ මුහුණු පොතේ දර්ශනය විය. එපමණක් ද නොව ගල්කිස්ස ප්‍රදේශයේ රතිඤ්ඤා සංදර්ශනයක් පවා ඔහුගේ මුහුණු පොතේ ඇතුළත් විය.   


රොහාගේ මරණයෙන් සිහිමුර්ඡා වූ “කුඩු අංජු” ඔහුගේ අනුගාමිකයින්ට රුපියල් ලක්ෂ 20ක් ලබා දෙන්නේ මේ සතුට සැමරීම උදෙසාය. එපමණක් ද නොව රොහා අතින් ඝාතනය වන තම සහෝදරයා වූ සිංහාරගේ සුරේෂ් අසංක හෙවත් “ලන්සියා” ගේ සොහොන පිහිටි දෙහිවල ගල්කිස්ස මහ නගර සභා පොදු සුසාන භූමියේ “සොහොන් සාදයක්” සූදානම් කිරීමට ද ‘කුඩු අංජු’ ලකලැහැස්ති විය. ඒ ලන්සියාගේ සොහොන පිහිටි ස්ථානයේ ඩ්‍රෝන යානාවකින් මල් ඉසිමිනි. මෙම ඩ්‍රෝන කැමරාවෙන් ගුවනේ සිට මල් ඉසීම සඳහා වෙනම කොටසක් ද මොවුන් විසින් සකස් කර තිබිණි.   


එපමණක් ද නොව මල් ඉසීමෙන් පසු ‘ලන්සියාගේ සොහොන් සාදය” සඳහා කේක් කැපීමට පවා මොවුන් සූදානම් කර තිබූ බව පොලීසිය කියයි. මේවා ඇසුණු සැණින් අපට නම් සිතෙන්නේ, ‘මේ මොන මළ විකාර ද?’ යන්න පමණි. එහෙත් මේ අයියලා රටේ නීතිය අතට ගෙන මේ කරන කටයුතුවලදී පොලීසිය නම් නිහඬව නොසිටියේය.   
රොහාගේ මරණය සැමරීම වස්, කල්ලි ගැසුණු කුඩු අංජුගේ එකම සහෝදරිය ඇතුළු සිව් දෙනෙකු ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගත්තේ මේ හේතුවෙනි. මේ කල්ලියට කුඩු අංජුගේ සමීපතම ගෝලයකු මෙන්ම මල් ඉසීමට සූදානමින් සිටි දෙදෙ​ෙනක් ද වූහ. එහිදී පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේදී මෙම පිරිස ඩ්‍රෝන කැමරාව කුලියට ගෙන තිබුණේ කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බවට පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබිණි. කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයා සතුව මෙවැනි ඩ්‍රෝන කැමරා පහක් ද තිබී ඇති අතර ඔහු මේවා කුලී පදනම මත ලබාදීමට ලියාපදිංචි වී නොමැති බව ද පොලීසිය සොයා ගෙන ඇත. කෙසේ වෙතත් එම ඩ්‍රෝන කැමරා සියල්ල මේ වන විට ඇත්තේ පොලිස් භාරයේ ය.   
රොහාගේ දේහය රත්මලානට ගෙනෙන්නට නොදෙන බවත්, ඔහුගේ අවමඟුලට සහභාගීවන්නන්ට අත්වන්නේ මරණය බවත් කියමින් කුඩු අංජු ඉතාලියේ සිට ගර්ජනා කරන්නට වූයේය. රොහාගේ දේහයට ද ගුවනින් මල් ඉසීමට රොහාගේ පාර්ශ්වයේ උදවිය සූදානම් කර තිබූ බවට පොලීසියට කනින් කොනින් තොරතුරක් ලැබුණද පසුව ඒ පිළිබඳව හරි හැටි අනාවරණය නොවිණි. අවසානයේදී දැඩි පොලිස් රැකවල් මැද රොහා අවසන් ගමන් ගියේය.   


රත්මලාන ප්‍රදේශයේදී දැඩි පොලිස් රැකවල් මැද අවසන් ගමන් ගිය දෙවැනියා වූයේ මේ “ගොනාකෝවිලේ රොහා” ය. ඒ ආකාරයෙන් අවසන් ගමන් ගිය අනෙක් පුද්ගලයා වූයේ කුඩු අංජුගේ පාර්ශ්වය අතින් මැරුම් කෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වූ රන්ජන් සිල්වා ය.   


‘කුඩු අංජු’ සිය සහෝදරයාගේ සොහොන මලින් සරසන්නටත් ඒ සදහා ගුවනින් මල් ඉසින්නටත් සූදානම් කර තිබුණේ රොහාගේ මරණයේ සතුට හොඳින්ම භුක්ති විඳීමේ ආශාවෙනි. මේ ක්‍රියාව ‘කුඩු අංජුට’ අලුත් දෙයක් නම් නොවිණි. 2016 වර්ෂයේ ජුනි මස 23 වැනිදා මහර අධිකරණය ඉදිරිපිටදී රොහාගේ වෙඩි ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය ‘ලන්සියාගේ’ අවමඟුල් පෙරහරට ද ගුවනින් මල් ඉසින්නට එදා කුඩු අංජු කටයුතු කළේය. ඔවුන්ගේ රත්මලානේ පිහිටි නිවසේ සිට දෙහිවල ගල්කිස්ස නගර සභා සුසාන භූමිය තෙක් පෞද්ගලික ආයතනයක හෙලිකොප්ටරයක් යොදා ගනිමින් අවමංගල පෙරහරට මෙසේ මල් ඉස තිබිණි. රත්මලාන එයාපෝට් හන්දියෙන් පටන් ගත් මේ මල් ඉසීම සුසාන භූමිය දක්වා ම අවස්ථා ගණනාවකදී සිදුකර ඇතැයි පොලීසියට තොරතුරු අනාවරණය වී තිබිණි.   


‘ලන්සියා’ මියයන විටත් ඔහුගේ හොඳම ගජ මිතුරාව සිටියේ මාකදුරේ මදූෂ් ය. තම හිතවතාගේ අවමඟුලට ගුවනින් මල් ඉසින්නට කුඩු අංජුට ‘අයිඩියා එක” දෙන්නට ඇත්තේ මේ මදූෂ් අයියා වන්නට ඇත. “ගුවනින් මල් ඉසීමේ පාතාල කලාවේ” ලොකු අයියා වූයේ ද මේ කියනා මදූෂ් ය.   


වර්ෂ 2018 අප්‍රේල් මස 09 වැනිදා රිය අනතුරකින් මියගිය තම පියාගේ අවසන් කටයුතුවලදී හෙලිකොප්ටරයකින් ‘මල් ඉසීමට’ මදූෂ් පියවර ගෙන තිබූ අතර ඒ වන විට ඔහු සිටියේ ඩුබායි රාජ්‍යයට පලා ගොසිනි. සිය පියාගේ දේහයට මල් ඉසින ආකාරය පිළිබඳව මදූෂ් සියැසින් දැක ගත්තේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ දුරකතනයකින් සම්බන්ධ වෙමිනි. මදූෂ්ගේ පියා වූ එස්.ඒ. ලක්ෂ්මන් යන අය කළුතර, වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු ප්‍රතිකාර ලබමින් සිටි කළුතර, නාගොඩ රජයේ රෝහලේ සිට පියාගේ දේහය විශාල රිය පෙරහරකින් සූරියවැව ප්‍රදේශයේ සිය නිවස වෙත රැගෙන ගොස් තිබිණි.   


තම පියාගේ අවමඟුල් පෙරහර උත්කර්ෂවත් අයුරින් සිදුකරන ලෙසට මදූෂ් සිය ඥාතිමිත්‍රාදීන්ට දැඩිව පවසා තිබූ බව ද සඳහන් වෙයි. ඒ අනුව පියාගේ දේහය රැගත් රිය පෙරහර නිවසින් පිටත්ව සුසාන භුමියට පැමිණෙන තෙක් හෙලිකොප්ටරයකින් මල් ඉස ඇතැයි ද එදවස සඳහන් වූ ප්‍රවෘත්තියකි.   

 


එපමණක් ද නොව සිය පියාගේ මරණය වෙනුවෙන් මදූෂ් ගේ ශෝක පණිවිඩයක් සහිත බැනරයක් ද සුසාන භූමියේ මෙන්ම අවමඟුල් නිවසේ ද ප්‍රදර්ශනය කර තිබී ඇත. එම හෙලිකොප්ටරය අයත් පෞද්ගලික ගුවන් යානා සමාගමෙන් එම යානය මුදල් ගෙවා වෙන්කර ගෙන තිබුණේ කොට්ටාව ප්‍රදේශයේ “දිනේෂ්” නමැති මදූෂ්ගේ හිතවතෙකු විසිනි. එම යානය වෙන්කර ගැනීමේදී මේ යන්නේ මදූෂ්ගේ පියාගේ අවමඟුල වෙනුවෙන් බවට කුලියට ගත් තැනැත්තා සඳහන් කර නොමැති බව ද එම පුද්ගලික සමාගම පසුව සඳහන් කර තිබිණි.   


මේ ආකාරයෙන් ම අතිඋත්කර්ෂවත් අයුරින් අවසන් ගමන් ගිය තවත් පුද්ගලයෙකු ගැන අතීතාවර්ජනයේ දී සිහිපත් වෙයි. ඔහු, රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ව සිටි මනෝජ් මෙන්ඩිස් ය. හික්කඩුවේ පිහිටි තමාට අයත් හෝටලයකදීම මනෝජ් මෙන්ඩිස් ඝාතනය වන්නේ “තෙල්වත්තේ පොඩි ලැසී”ගේ වෙඩි ප්‍රහාරයකිනි. හික්කඩුව ප්‍රදේශයේ දී තමාට ආවේණික වූ වෙනමම පොලීසියක් වෙනමම අධිකරණයක් පවත්වාගෙන ගිය මනෝජ් මෙන්ඩිස් ගේ අවමංගල්‍ය පෙරහරට දහස් සංඛ්‍යාත සෙනඟක් සහභාගී වී සිටියහ. රත්ගම ප්‍රාදේශීය සභා භූමියේ සිට ඔහුගේ දේහය සුසාන භූමියට රැගෙන යන අවස්ථාව දක්වා අවස්ථා කිහිපයකදීම හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනින් මල් ඉසින්නට දායකත්වය දක්වා තිබුණේ ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලන බලවතෙකු බවටද එදවස කට කතා පැතිර තිබිණි.   


‘ගුවනින් මල් ඉසීමේ පාතාල කලාවක්’ මෙරටට හඳුන්වා දී ඇති මේ අයියලා ජීවත්ව සිටින කාලයේ සිදුකර ඇත්තේ මලින් පුද දිය යුතු සත් ක්‍රියාවන් ද? මිනිස් ජීවිත සමග සෙල්ලම් කරමින් තම බල පරාක්‍රමය සහ ධනය මත්තේම නැගී සිටිමින් සමාජයට අවැඩ පමණක් ම සිදුකළ මොවුන්ට සිය අවසන් ගමනට පුෂ්පෝපහාර පැවැත්විය යුතුමද? හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුළු මහත් සමාජයක් ම අගාධයට ඇද දමන මොවුන් පිදිය යුත්තේ මලින් ද?   


අවිගත්තෝ නසින්නේ අවියෙන් නම් ඔවුන්ට මලින් ඇත්තේ කුමන පලක් ද? මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් පොලීසිය වහා ක්‍රියාත්මක වූ බැවින් රත්මලාන පැත්තේ සෙල්ලම් නැවතී ගියේය. එවන් නීතියේ ක්‍රියාත්මකවීම් අනාගතයේද එසේම සිදුවිය යුතුය.   

 

නිමන්ති රණසිංහ