ගුවන් යානා ගිවිසුම අවලංගු කරන්න කෝටි 1470ක් ගෙවන්න වෙලා


 

(දයාසීලි ලියනගේ)  
ශ්‍රී ලංකන් ගුවන් සේවයට කල් බදු ක්‍රමය මත ගුවන් යානා හතරක් මිලදී ගැනීම වෙනුවෙන් විදේශීය ගුවන් සමාගමක් සමඟ පසුගිය රජය සමයේ අත්සන්කර තිබූ ගිවිසුම අවලංගු කිරීම සඳහා එම ගුවන් සේවය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 98 ක (රුපියල් කෝටි 1470) මුදලක් ගෙවීමට නියමිත බව වාර්තා වේ.   

මෙම මුදල් ලබා ගැනීම සඳහා ඇමැති කබීර් හෂීම් මහතා පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව නිසා එම හමුවේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතවී තිබිණි.  


ශ්‍රී ලංකන් ගුවන් සේවාව මගින් හිතුමතේ මුදල් ගෙවීමෙන් පසු එම මුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලීම සුදුසු නොවන බවත් මේ සම්බන්ධව සියලු කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් මෙහිදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වාදී ඇත.   


මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර ඇමැති මණ්ඩලය දැනුවත් කරනතුරු අදාළ මුදල් සඳහා අනුමැතිය ලබා නොදිය යුතු බවද ප්‍රේමජයන්ත ඇමැතිවරයා පෙන්වාදී ඇත.  


ඒ අනුව මෙම ගිවිසුම අවලංගු කිරීම පිළිබඳ පූර්ණ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමැති කබීර් හෂීම් මහතා එකඟතාවය දන්වා තිබේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ගිවිසුමක් අවලංගු කිරීමේදී අනිවාර්යයෙන්ම මුදල් ගෙවීමට සිදුවන බවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවාවට තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇතත්, මුදල් ප්‍රශ්නය නිසා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබිය යුතු බවද ඔහු කීය.  


පසුගිය රජය මගින් ලබා ගැනීමට ගිය ගුවන් යානා 4ක් වත්මන් රජය මගින් අවලංගු කර තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.