ගීතාට මොකද වුණේ ?


ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානනීය චිත්‍රපට නිලි ගීතා කුමාරසිංහ මහත්මිය නුගේගොඩ නාවල පිහිටි නිවසේ සිටිය දී පිළිස්සුම් තුවාල ලබා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය සෙනසුරාදා උදේ වරුවේය.  
මේ සටහන තබන විටත් අැය සිටින්නේ පෞද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි.   



ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුවය ලබමින් සිටින බවත් පිළිස්සුම් තුවාලවලට විෂබීජ යෑම වැළෑක්වීමට මෙන්ම ඇයගේ රසික රසිකාවියන් හා අමුත්තන් විශාල පිරිසක් පැමිණීම වැළැක්වීම සඳහා මෙසේ දැඩිසත්කාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කරන බව එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ඇය දැඩිසත්කාර ඒකකයට අතුළත් කිරීමට බලපෑ හේතු සාධක පැහැදිලි කරමින් පැවසීය. 


දශක හතරකට වැඩි කාලයක් තිස්සේ සිට සිය නිසඟ රංග හැකියාවන්ගෙන් රිදී තිරය අතික්‍රමණය කළ ප්‍රතිභා පූර්ණ නිළි ගීතා කුමාරසිංහ මහත්මියට සිදුවූවේ හදිසි අනතුර කැයි අසා ඇයට ආදරය කරන ඇලුම්කරන සුවහසක් රසික රසිකාවියන් කම්පනයට, වේදනවාට පත්වනු නිසැකය. 


ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල ලැබුවේ නාවල පිහිටි සිය නිවසේ ගෑස් ළිපක් දැල්වීමට ගිය අවස්ථාවේ දී ගෑස් කාන්දුවකින් හටගත් ගින්නට අසුවීමෙන් බව පැවසුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි නිතීඥ රුවන් ගුණසේකර මහතාය. 


කුමාරසිංහ මහත්මිය ප්‍රතිකාර ලබන රෝහලෙන් වැලිකඩ පොලිසියට කරන ලද දැනුම් දීමක් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ද පොලිස් අධිකාරී ගුණසේකර මහතා කීය. 


වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදක් අස්මඩල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ දැනුම්දීම කළ මොහොතේම නාවල පිහිටි ඇයගේ නි​ෙවසට ගියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටය. 


පොලිස් කණ්ඩායම එහි යනවිටත් කුමාරසිංහ මහත්මියගේ නිවස දොරගුළුලා වසා තිබූ නිසා ඔවුන්ට නිවසට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට අවස්ථාවක් ලැබුණේ නැත. 


කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නිසා ඇයට ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබාදී ඇත. 


ඇයගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් මන්ත්‍රීවරියට මොකද වුණේ කියා විමසා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාය. 


’සර්.. මැඩම් ගෑස් ළිප පත්තුකරන්න යද්දී පිච්චුණා කියා කිව්වා. අපි මැඩම්ව ඉක්මනට හොස්පිටල් එකට අරගෙන ගියා. ඊට වඩා විස්තරයක් කියන්න දන්නේ නැහැ. 


ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක අස්මඩල මහතා ඇසූ ප්‍රශ්නයට මන්ත්‍රීවරියගේ ආරක්ෂාවට යොදවා සිටි ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා ලබාදී ඇතැයි කියන්නේ එවැනි පිළිතුරකි. 


සිද්ධ වෙච්ච දේ සවිස්තරාත්මකව දැන ගැනීමට අවශ්‍ය වූ නිසා ගීතා කුමාසිංහ මහත්මිය හමුවී ඇයගෙන්ම අසා දැන ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය ප්‍රතිකාර ලබන රෝහලට එවෙලේම පිටත්කර හැරියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝෂාන් ද සොයිසා මහතාය. 


තමා සිටින තත්ත්වය අනුව ඒ පිළිබඳව මේ අවස්ථාවේ ප්‍රකාශයක් ලබාදිය නොහැකි බව ගීතා කුමාරසිංහ මහත්මිය රෝහලට ගිය පොලිස් නිලධාරීන් සමඟ පවසා ඇතැයි කියති. 


ඊට පසුව ද අවස්ථා දෙකකදී ඇයගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් නිලධාරීන් රෝහලට ගියත් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වී ඇත. 


ඒ ඇය පසුව ප්‍රකාශයක් ලබා දෙන බව පැවසීම නිසාය. 


ගීතා කුමාරසිංහ මහත්මියගෙන් ප්‍රකාශක් ලබාගැනීමට අැය දැඩිසත්කාර ඒකකයෙන් සමාන්‍ය වාට්ටුවකට මාරු කරන තෙක් බලා සිටීමට පොලිසියට සිදුවනු ඇත. 


යම් හෙයකින් මේ ගැන පරික්ෂණයක් අවශ්‍ය නැතැයි  ඇය ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළොත් ​ෙපාලිසියට එතැනින් එහාට ඒ ගැන පරීක්ෂණ කිරීමට හැකියාවක් ද නොමැත. 


ගීතා කුමාරසිංහ මහත්මියට සිදුවූ මේ හදිසි කරදරය දැනගත් මොහොතේම සමාජ සවිබලගැන්වීමේ සුභසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රවීණ නළු රංජන් රාමනායක මහතා නළු නිළියන්ට කතා කර ඇයගේ සුව දුක් විමසා ඇත. 
එ් නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට මා කතා කළේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාටය. 
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ කීය: 


මේ සිද්ධිය දැනගත් මොහොතේම මා මුලින්ම කතා කළේ ෂෙරින් කුමාරසිංහ මහත්මියට. එවිට ඇය හිටියේ සිංගප්පූරුවට ගිහින්. ඊට පස්සේ මම කතා කළේ සංගීතා වීරරත්නටයි. ඒ වෙලාවේ සංගීතා මට කිව්වා මාලනී ​ෙෆාන්සේකා මහත්මියත් රෝහලට ඇවිත් ඉන්නේ අපි ගිහින් ගීතාව බැලුවා. අැය නැගිටිනවා. ආයෙමත් නිදාගන්නවා. ක්ලාන්තය වගේ කියාත් කියන බව මාත් එක්ක කිව්වා. මම මේ දැන්ම රෝහලට එනවා කියා කිව්වාම සංගීතා කිව්වේ ‘අනේ ගීතා අක්කාට කරන ලොකුම උදව්ව තමා ඇය බලන්න දැන්ම නොයන එක’ කියා. විෂ බීජ ඇතුළු වෙන්න තියන ඉඩකඩ වැඩි නිසයි. සංගීතා මට පැවසුවේ දැඩිසත්කාර ඒකකයට ප්‍රතිකාර කරන්න දැම්මෙත් ඒ නිසා බවය. එම නිසා  මාත්  ගීතව බලන්න ගියේ නැහැ. 


ඊට පස්සේ මම ගීතා ප්‍රතිකාර ලබන රෝහලේ සේවය කරන ඩොක්ටර් නිෂානිට කතා කළා. නිශානි කියන්නේ චිත්‍රපට නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහත්තයාගේ දියණියයි. මම මේ ඕෆ් වෙලා යන ගමන්. ගීතාගේ කකුල් අත්පා හා උදර ප්‍රදේශයට පිළිස්සුම් තුවාල තිබෙනවා. කොණ්ඩයත් ටිකක් පිළිස්සී තිබෙනවා කියා මා කතා කළ වෙලාවේ ඩොක්ටර් නිශානි මාත් එක්ක කිව්වා. ඩොක්ටර් නිශානි කිව්ව නිසා මම ඇය බලන්න ගියේ නැහැ.  ගීතාව බලන්න යන්න පුළුවන් කියා වෙද්‍යවරුන් දැනුම් දුන් ගමන් මම ඇය බලන්න යන්නයි ඉන්නේ. ඇයට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා යැයි ද නියෝජ්‍ය අමත්‍යවරයා කීය. 


කොණ්ඩයට ගිනි ඇවිලෙද්දී ගීතා එය නිවා දැමීමට උත්සාහ කිරීමේ දී අත්දෙකම පිළිස්සී ඇති බව දැන ගැනීමට ඇත. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය