ගිනිගත් තෙල් නැවට නීති පියවර ගැනීම අඩමානයි


 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

නැගෙනහිර මුහුදු තීරයේ සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් දුරින් ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සංකීර්ණ ප්‍රශ්නයක් බව සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය පවසයි.  

මෙම නෞකාව පැනමා රාජ්‍යයේ ධජය යටතේ ගමන් කළ ද එම නෞකාව අයත් වෙන්නේ ලයිබීරියාවටයි. නෞකාව කළමනාකරණය කරන්නේ ග්‍රීක සමාගමක් විසිනි. නෞකාවේ ඉන්ධන ගෙන යන්නේ ඉන්දියන් ඔයිල් සමාගමයි. සිද්ධිය වූයේ අපගේ සාගර කලාපයේ නිසා ඊට සහයට පැමිණියේ ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවයි.  


ඒ නිසා සංකීර්ණ ප්‍රශ්නයක් හෙයින් ඒ සියලු පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කළයුතු වෙයි.  
කෙසේ වෙතත් අපට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා අනිවාර්යෙන්ම නීතිමය පියවර ගන්නා බව ඇය සඳහන් කළාය. මේ සම්බන්ධව නීතිපති උපදෙස් ලබා ගැනීමට සාකච්ඡා කළ බවත් කඩිනමින් නීති මගින් ක්‍රියාකරන බව ද ඇය ප්‍රකාශ කළාය.  


නෞකාවෙන් කාන්දු වූ බවට සැක කෙරෙන තෙල් සාම්පල් පරීක්ෂා කිරීම සඳහා අදාළ අංශ වෙත යොමු කර ඇති අතර ඒ පරීක්ෂණවලින් ලැබෙන ප්‍රතිඵල අනුව ස්ථිර වශයෙන්ම නිගමනයකට එන බව ද නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය සඳහන් කළාය.