ගැසට්ටුවේ සෞඛ්‍ය නියමයන් ඡන්ද රැස්වීම්වල නෑ


මුඛ ආවරණ - මීටරයේ පරතරය නොසලකා දිගටම වැඩ

(අජන්ත කුමාර අගලකඩ)   

මහ මැතිවරණයට සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළ නිර්දේශ සෞඛ්‍ය ඇමැතිවරිය විසින් ගැසට් කරනු ලැබුවද දේශපාලන රැස්වීම් පැවැත්වීමේදී හා අනෙකුත් ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී ඒවා ක්‍ර්‍රියාත්මක නොවන බවට බොහෝ දෙනා චෝදනා කරති. 

දේශපාලන රැස්වීම්වලට සහභාගීවන තැනැත්තන් අතර මීටරයක දුරක් පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇතත් දේශපාලන රැස්වීම් බහුතරයක එවැනි තත්ත්වයක් දකින්නට නැතැයි එම පිරිස පෙන්වා දෙති. 


මහ මැතිවරණය සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව පැවැත්වීමට සෞඛ්‍ය නිර්දේශ ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉකුත් 17 වැනිදා නිකුත් කරනු ලැබීය. 


ඡන්ද විමසීමක් පැවැත්වීමට අදාළවන කාල සීමාව සඳහා බලපැවැත්වෙන ලෙස එම ගැසට් නිවේදනය නිකුත් කර දින දහයකට ආසන්න කාලයක් ගත වී ඇතත් එම නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවන බව එම පිරිස පෙන්වා දෙති. 


ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව යන්නෙන් අවස්ථාවෝචිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීම සඳහා ප්‍රකාශයක් හෝ නියමයක් හෝ කරනු ලැබු දිනයෙන් ආරම්භවූ අවස්ථාවෝචිත පරිදි ඒ ජනමත විචාරණයේ හෝ ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරනු ලබන දිනයෙන් අවසන් වන කාලසීමාව අදහස් වන්නේය යනුවෙන් ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.