ගම්පෙරළියෙන් සල්ලි ශ්‍රීලනිපයට තවමත් නෑ


(දයාසීලි ලියනගේ)  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 100 කට අධික පිරිසකට ගම්පෙරළිය වැඩසටහන යටතේ ප්‍රදේශ සංවර්ධනයට මිලියන 100 ක් ලබා දෙන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටුවී නැති බව පක්ෂයේ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියද‌ාස මහතාට පැමිණිලි කරනු ලැබ ඇත.  

 කොළඹ පක්ෂ ලේකම් කාර්යාලයේ දී  හමුවූ ‘20x20 මෛත්‍රි සමග අපි’ සංවිධානය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම සංවිධානයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා කීය.  


 ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ට මෙම මුදල් ලබා දී ඇතත් ආසන සංවිධායකවරුනට අද‌ාළ මුදල් නොලැබීමෙන් ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද‌ාවී තිබෙන බව ද ඔහු පෙන්වා දී තිබුණි.  


 මේ තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමුකර වහාම මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙසට ද ඉල්ලා ඇත.  


 මුදල් වර්ෂය දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව ඇති අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා සැලසුම් හා ඇස්තමේන්තු සකස් කර ක්‍රියාත්මක කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බව ද මෙහිදී පෙන්වා දී ඇති බව වාර්තා වේ.  


මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කිරීමට ලේකම්වරයා එකඟ වූ බව ද රොෂාන් ගුණවර්ධන මහතා කීය.