ගම්පෙරළිය සංවර්ධනයට පක්ෂ දෙකෙන් තරගයට වැඩ


(දයාසීලි ලියනගේ)  

‘ගම්පෙරළිය’ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා බොහෝමයක් ප්‍රදේශවල පක්ෂ දෙකේ දේශපාලනඥයන් අතර එකිනෙකා අභිභවා යාමේ තරගයක් පවතින බව වාර්තා වේ.  

එකම ප්‍රදේශයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේදී ඇතැම් ප්‍රදේශවල දෙපක්ෂයේ අය එකිනෙකා අබිභවා යමින් ජනතාව තුළ ජනප්‍රිය වීමට දරන උත්සාහය නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වේ.  


එක්තරා අමාත්‍යාංශයක ඉහළ නිලධාරියෙක් දිස්ත්‍රික්කයක සියලු ප්‍රාදේශීය ලේකම්වරු ගෙන්වා සිය ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද සංවර්ධන යෝජනාවලියට අනුමැතිය ලබාදී ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.  


එම යෝජනාව අනෙක් පක්ෂයේ ආසන සංවිධායකවරු ලබා දී තිබෙන බව ද සඳහන් වේ.  


ප්‍රදේශ ගණනාවක මේ තත්ත්වය උද්ගත වී ඇති අතර තම පක්ෂය ජනප්‍රිය කිරීම සඳහාත් ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීම සඳහාත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බව දැනගන්නට ඇත.  
පක්ෂ දෙකම එකඟතාවයෙන් සංවර්ධන කටයුතු යෝජනා කරන ලෙස ජනාධිපතිවරයා පසුගියද‌ා ආසන සංවිධායකවරු අමතා ප්‍රකාශ කර තිබුණි.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ පක්ෂ දෙක සහයෝගයෙන් සංවර්ධන යෝජනා ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දී තිබෙන බවයි. මෙවැනි සිද්ධීන් පිළිබඳව අවධානය යොමු කරණු ඇතැයි ද ඔහු කීය.