ගමක්ම මළ ගෙයක් කළ සපත්තු කම්හල


අනතුරට පත් වූ කර්මාන්ත ශාලාව අසල රොක්වී සිටින ජනතාව හා ආරක්ෂාව සපයන පොලිස් නිලධාරින් 

 

 

බක්මාසේ කොහාගේ හඬ කවුරුත් අසන්නට ප‍්‍රිය කාගෙත් සිත් සතුටෙන් උද්දාමයට පත්කරන මිහිරි හඬකි. එහි සැඟවුණ අලුත් අවුරුදු උදාවේ පණිවුඩය තේරුම් ගන්නෙකුට ඒ කොවුල් හඬ වඩ වඩාත් ප‍්‍රණීතව ඇසෙනු නියතය. නැවුම් සිතුවිලිවලින් හදවත් පුරවන සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙවර හොරණ බැල්ලපිටිය ගම් වැසියන්ද සතුටින් සැමරුවාට සැකයක් නැත. 


වගකීම් විරහිත කර්මාන්ත ශාලා හිමිකරුවෙකුගේ හා නොසැලකිලිමත් කාර්ය මණ්ඩලයක ක‍්‍රියාපිළිවෙත විසින් බැල්ලපිටිය ගමේ ජනතාවට මෙම අලුත් අවුරුදු උදාවේ සතුට විඳගන්නට වැඩි ඉඩක් ලබාදුන්නේ නැත. කර්මාන්ත ශාලාවෙන් බැහැර කෙරෙන විෂ රසායනික සහිත අපජල ටැංකියක් පවිත‍්‍ර කිරීමට ආරක්ෂිත පළඳනා කිසිවක් රහිතව සේවකයකු යොදවන්නේ ඒ කළමනාකාරිත්වයේත් කාර්ය මණ්ඩලයේත් වගකීම් සහගතකමේ තරම කියාපාමිනි. එය අවසන් වන්නේ එම සේවකයාද සමඟ ගමේ තවත් සිව්දෙනෙකුගේ ජීවිත විෂ වායුවක් සහිත අපජල ටැංකියකට වැටී අහිමිවීමටත් තවත් විසිදෙනෙකු ශ්වසන ආබාධ සහිතව රෝහල් ගතවීමටත් මග පාදමිනි. 


රබර් සපත්තු හා සෙරෙප්පු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් වන මෙම කර්මාන්ත ශාලාවේ අපජලය ගමේ වෙල්යායට බැහැර කරන්නේ යැයිද ඒ හේතුවෙන් වසර දහයක් තිස්සේ වෙල්යාය පුරන්ව ගොස් ඇතැයිද ගම්මු උද්ඝෝෂණය කළහ. ඒ අනුව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මැදිහත්ව පරීක්ෂණයක් සිදුකර අපජලය ගමට බැහැර කිරීම නවත්වන ලෙසත් එසේ නොකරන්නේ නම් නීති මගින් ක‍්‍රියා කරන බවටත් අවවාද කර ඇත. ඒ අනුව කර්මාන්ත ශාලාවේ හිමිකරු අපජලය එකතු කරන ටැංකියක් බැඳ තිබේ. එම ටැංකියට එකතු වන අපජලය දින කීපයකට පසුව වෙනත් ස්ථානයකට බැහැර කිරීමට කර්මාන්ත ශාලාවෙන් බැහැරට ගෙනයනු ලැබූ බව කර්මාන්ත ශාලාවේ සමහර සේවකයෝ පවසති. 


මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් පනස් දෙනෙකු පමණ සේවය කරනු ලබන අතර අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ආරම්භ වූ පසුගිය 19 වැනිදා අපජල ටැංකිය පවිත‍්‍ර කිරීමට කළමනාකාරිත්වය එක් සේවකයකු යොදවනු ලැබ තිබේ. මෙම ටැංකිය අනාරක්ෂිත එකක් නොවේ. එය කොන්ක‍්‍රීට් ලෑල්ලකින් ආවරණය කර තිබේ. සේවකයා සිය වගකීම ඉටු කිරීම සඳහා එහි කොන්ක‍්‍රීට් ලෑල්ල ඉවත් කළේය. එහෙත් ඔහුට සිය වගකීම ඉටු කරන්න ඉඩක් නොතබා ටැංකිය තුළට ඇද වැටුණේය. 


රබර් නිෂ්පාදනයේදී නොයෙකුත් රසායනික භාවිත කරන අතර මෙම අපජල ටැංකියේද ඒ රසායනික එකතු වී තිබුණාට කිසිම සැකයක් නැත. එවැනි රසායනික රැසක් දින ගණනාවක් එකට එකතු වී ක‍්‍රියාත්මක වීමේදී තව තවත් විෂ සහිත රසායනික වායු නිෂ්පාදනය වනු නොඅනුමානය. එහෙත් ඒ ගැන කිසිදු වගේ වගක් කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ, කළමනාකරුගේ සිට වගකිව යුතු කිසිදු පාර්ශ්වයකට තිබූ බවක් පෙනෙන්නට නැත. එසේ වී නම් අවම වශයෙන් මුඛ ආවරණයක්වත් නැතිව සේවකයකු මෙවැනි ටැංකියක් පවිත‍්‍ර කිරීමට යොදවන්නේ නැත. 


පළමු සේවකයා වැටුණ පසු ඒ ස්ථානයට දුවගෙන පැමිණි සහෝදර සේවක සේවිකාවන් කීප දෙනෙක්ම ටැංකිය ආසන්නයේදීම සිහිසුන්ව ඇද වැටුණේ ටැංකියෙන් නික්මුණ කිසියම් විෂ වායුවක් නිසා විය යුතුය. මේ තත්ත්වය හමුවේ අසරණ වූ සේවකයින් උදව් ඉල්ලා කළ කෑ ගැසීම් සවන් වැකුණ කර්මාන්ත ශාලාව ආසන්නයේම වූ ගරාජයක සේවය කළ කීප දෙනෙක් හා මහ මග ගමන් කළ කීප දෙනෙක් අදාළ ස්ථානයට කලබලයෙන් පැමිණි අතර ඔවුන් වැටී සිටි සේවකයා ඉවතට ගැනීමට ටැංකිය තුළට එබී බැලුවා පමණි. 


උදව්වට පැමිණි පළමු වැනියාද ඇද වැටිණ. ඔහු වැටෙනවා දැක අල්ලන්නට ගිය ගැමියාද ඇද වැටිණ. මෙසේ ගඟක ගසාගෙන යන පිරිසක් බේරාගන්නට ගඟට පනින පනින කෙනා ගසාගෙන යන්නා සේ ටැංකියට එබුණ හැමෝම එයට ඇද වැටී මිය ගියහ. හය වැනියාද ටැංකියට එබුණත් ඒ අසල සිටි නුවණැති තරුණයෙක් ඔහු ඉවතට ඇද ගත්තෙන් සිහි මුර්ඡාවීමෙන් පමණක් ඔහුව බේරාගැනීමට හැකිවී තිබේ. මේ සියල්ල සිදුවද්දී කළමනාකරු හා ප‍්‍රධාන කාර්ය මණ්ඩලය බය බිරාන්තව කර්මාන්ත ශාලාව තුළටම වී බලා සිටියා මිස කිසිවෙකුටත් වළට එබෙන්න එපා යැයි අවවාද කිරීමක් වත් නොකළ බවට ගම්වැසියෝ චෝදනා කරති. 

 

අනතුරට හේතු වූ අප ජල ටැංකිය

 

මෙම අනපේක්ෂිත සිදුවීමෙන් මරණයට පත් වූයේ කර්මාන්ත ශාලාවේ සේවය කළ ඩබ්. ආරියපාල නමැති බැල්ලපිටිය, වල්පිට පින්නකොළහේනේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකි. ඔහු බේරාගැනීමට පැමිණීමෙන් මරණයට පත්වන්නේ දිලීප ලොකුපතිරගේ නමැති තිස් දෙහැවිරිදි බැල්ලපිටිය ගම් වැසියෙකි. ලාල් පුෂ්පකුමාර නමැති විසිඅට හැවිරිදි බැල්ලපිටිය අක්කර තිස්පහ පදිංචි අයෙකු, විසිතුන් හැවිරිදි වරුණ චන්ද්‍රසේකර නමැති බුලත්සිංහල ඈගල්ඔය පදිංචි අයකු හා ප‍්‍රියන්ත කුමාර නමැති 41 හැවිරිදි බැල්ලපිටිය, අක්කර තිස්පහ පදිංචිකරුවෙක්ද මෙම ඉරණමට ලක්වූහ. 


තවත් තිහක් පමණ ශ්වසන අපහසුතා නිසා හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර 20 වැනි දා වන විටත් දහතුන් දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලැබූහ. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබුවේය. එහෙත් රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි. සේවකයා හා ගම්වැසියන් ඇද වැටුණ වළේ තිබූ විෂ රසායනිකවල විෂ කෙතරම්ද යත් වළෙහි වැටී සිටි අය රෝහලට ගෙන ආ විට ඔවුන් ගෙන යාමට පැමිණි රෝහල් සේවකයකුද සිහිසුන්ව ඇද වැටීමෙන් රෝහල් ගත කර ප‍්‍රතිකාර කරන්නට සිදුව තිබේ. 


හොරණ රෝහලේ අධ්‍යක්ෂක සමර කලුබෝවිල මහතා දැඩි කැපවීමකින් සියලු වෛද්‍ය කටයුතු සිදුකළ බව ගම්වැසියන් පවසන්නේ ප‍්‍රශංසාත්මකවය. විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේ නිවාඩු ලබා සිටි සියලු වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩල ගෙන්වා අවශ්‍ය ප‍්‍රතිකාර සිදුකළ බවද ඔවුහු පවසති. 


සිද්ධියට මුහුණ දුන් තරුණයෙක් රෝහලේ සිට කම්පනයෙන් යුතුව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. 


අපිට ඇහුණා හිටි ගමන්ම පැක්ටරිය පැත්තෙන් කෑගැහිල්ලක්. මොකද කියලා බලන්න අපි දිව්වා. එක්කෙනෙක් ටැංකියකට වැටිලා කියපු නිසා අපේ අය ඒකට එබිලා බැලුවා. එබෙන එබෙන කෙනා වැටුණා. නිල් පාටට එ්කේ වතුර පිරිලා තිබුණා. ඒකට එබුණ ගමන් හුස්ම ගන්න බැරි වෙනවා. මාවත් වැටෙන්න යද්දී තව කෙනෙක් බේරගත්තා. මේ වගේ වළක් ඇයි මේ විදිහට පවත්වගෙන ගියේ? මේක මොන තරම් සහගහන අපරාධයක්ද? 
විපතට පත් වූවන් බේරාගැනීමට පැමිණි තරුණයෙක් අදහස් දක්වමින් මෙසේ පැවසීය. 


හයේ හතරේ හොඳට ඇඟ පත තිබෙන කොල්ලෝ ටිකක් මෙතනට ආවේ. උන් එකා දෙන්නා වළට වැටුණා. වළ කිට්ටුවටම එද්දී මට දැනුණා ලොකු විසක් මෙතන තියෙනවා කියලා. මම බලද්දී ගරාජ් එකේ මල්ලී වැටෙන්න යනවා දැක්කා. මම එයාව ඇදලා අරන් බිම දාලා පපුවට ගහගෙන ගහගෙන ගියා. යම්තම් එයාගේ හුස්ම වැටෙනවා දැක්කාම මගේ ඇස්වලට කඳුළු ආවා. එකෙක් හරි බේරගන්න ලැබුණා නේද කියලා මට හිතුණා. ඒත් වැඩක් තියෙනවාද ගමේ පස් දෙනෙක් වළට බිලි වෙලා ඉවරයි. අද ගමම එකම මළ ගෙයක්. 
මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලතිලක මහත්මිය මෙසේ පැවසුවාය.

 

මේ කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අපජලය සාමාන්‍ය පරිසරයට නිදහස් කරන බවට ගමේ අයගෙන් පැමිණිලි ලැබුණා. ඒ නිසා අපි මේ කර්මාන්ත ශාලාව පරීක්ෂා කළා. අපි අවවාද කළා එලෙස නොකරන ලෙස. එය අනුගමනය නොකරන්නේ නම් අපි නීති මගින් ක‍්‍රියාකරන බවත් කිව්වා. ඒ අනුව ඔවුන් මේ ටැංකිය හදලා තිබෙනවා. එහි එකතු වන ජලය වෙනත් ස්ථානයකට ගෙන යන බව තමයි අපට කියලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැත්නම් තමයි අපට ඔවුන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත හැක්කේ. ඒ වගේම අපේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අවවාද කර තිබුණා මේ ටැංකිය පවිත‍්‍ර කිරීමේදී ආරක්ෂක උපක‍්‍රම භාවිත කරන්න කියලා. මුඛ ආවරණ පළඳින්න කියලා. අපේ පැත්තෙන් කළ හැකි හැම දෙයක්ම කරලයි තිබුණේ. 


මේ සිදුවීමත් සමගම ආයතනයේ හිමිකරු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ආයතනයේ කළමනාකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ප‍්‍රදේශවාසීන් කෝපයට පත්වීමෙන් ඇතිවිය හැකි යම් සිදුවීම් වළක්වා ගැනීමටත් තවදුරටත් එම ස්ථානයට කිසිවෙක් ළඟාවීම වැළැක්වීමටත් විපත සිදුවූ කර්මාන්ත ශාලාව අවට ආරක්ෂාව තරකර ඇති අතර හොරණ රෝහල වෙතද පොලිසියේ මෙන්ම කැරලි මර්දන ඒකකවල ආරක්ෂාව සපයා තිබෙනු දක්නට ලැබිණ. 


පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී පී.ආර්.පී. සේනානායක මහතා 


මේ සිදුවීම සම්බන්ධයෙන් අපි පරීක්ෂණ සිදුකරනවා. ​ෙමයට වගකිවයුතු ආයතනයේ හිමිකරු ඇතුළු සියලු දෙනා නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරනවා. මේ වන විටත් අපි කළමනාකරු අත්අඩංගුවට ගෙන අවසන්. මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම මිය ගිය අය වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලටත් අනතුරට පත්ව ප‍්‍රතිකාර ලබන සේවකයින්ටත් වන්දි අරන් දීමට අවශ්‍ය කටයුතුද අප යොදනවා. 


රෝහල් ගතවූවන් පිළිබඳව අදහස් දැක්වූ හොරණ රෝහලේ අධ්‍යක්ෂක සමර කළුබෝවිල මහතා 


කිසියම් විෂ වායුවක් ආඝ‍්‍රාණය වීමෙන් ශ්වසන අපහසුතාවයක් තමයි මේ අයට ඇතිවෙලා තියෙන්නේ. මිය ගිය පස්දෙනා රෝහලට ගෙන එන විටත් මිය ගොස් තිබුණා කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපි උත්සාහ කළා විදුලි කම්පන තත්ත්වයන් පවා ඇති කර හෘදය වස්තුව පණගැන්වීම සඳහා. නමුත් එයින් පළක් වුණේ නැහැ. 


සිද්ධියක් ඇති වූ පසු කළ හැකි හැම දෙයක්ම මේ සියලු දෙනා ඉටු කළත් සිදුවීමක් වෙන්නට නොදී වළක්වාගැනීමට අප හැම විටම ප‍්‍රමාද වීම කෙතරම් ඛේදජනකද? මේ ගැන ඊට අදාළ වගකිව යුත්තන් දැන්වත් සිතා බලන්නේ නම් එය සමාජයට කරන යහපතකි. මුදල් ඉපයීම සමාජයට කරදරයක් බරක් නොවී සිදුකළ හැක්කේ නම් කෙතරම් යහපතක් වනු ඇතිද? එහෙත් අද අපේ සමාජයේ දක්නට නැත්තේම එවැනි යහපත් සිතුවිලිය. ඒ නිසා අද එක තැනක සිදුවන දේ හෙට තවත් තැනක එලෙසම සිදුවනු ඇත. එකම සිදුවීම පළමුව සිදුවන විට එය ඛේදවාචකයක් වන නමුත් එය නැවත නැවතත් එක ලෙසම සිදුවිම ජුගුප්සාජනකය. අද පත්ව තිබෙන්නේ එවැනි තත්ත්වයකට නොවේද? 

 

 

 

 

මුදිතා දයානන්ද, බිමල් ශ්‍යාමන් ජයසිංහ සමඟ අඟුරුවාතොට මංගල ප‍්‍රසන්න එදිරිසිංහ