කෝටි තුනක ලිහිසි තෙල් සපුගස්කන්දෙන් උස්සලා


(දයාසීලි ලියනගේ)  
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආනයනය කර තිබූ රුපියල් දශලක්ෂ 30කට අධික වටිනාකම ඇති කල් ඉකුත් වූ ලිහිසි තෙල් තොගයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.  

මෙම ලිහිසි තෙල් මෙරට භාවිතා නොකරන වර්ගයක් නිසා පාවිච්චියට නොගෙන ගබඩා කර තිබී ඇත.  


ටෙන්ඩර් මගින් මෙම ලිහිසි තෙල් ලීටර 31000 ක්ද අළෙවි කිරීමට පියවර ගෙන තිබුණත් පසුව එයද අවලංගු කර සපුගස්කන්ද පිරිපහදුවේ කැලෑවැදුන ගොඩනැගිල්ලක ගබඩා කර තිබූ බව එහි ප්‍රකාශකයෙක් කීය.  


කල් ඉකුත් වූ මෙම ලිහිසි තෙල් කිසිදු දෙයකට භාවිතා කළ නොහැකි අතර වංචනිකව වෙනත් තෙල් වර්ග සමග කලවම් කර විකිණීමට ඉඩ ප්‍රස්ථා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.  


මෙරට භාවිතා නොකරන මෙම ලිහිසි තෙල් 2009 වර්ෂයේ දී මෙරටට ගෙන්වා ඇති අතර ඒ සඳහා මූලික වූ නිලධාරියා උසස්වීමක් ලබා සිටින බවද සඳහන් වේ.  


මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසා බැලීමට ඇමැති අර්ජුන රණතුංග මහතා හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය සම්බන්ධකර ගැනීමට උත්සාහ කළත් ඔවුන් විදේශ ගතවී සිටියහ.  
අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ ඇමැතිවරයාගෙන් විමසා බලන ලෙසටය.